ප්‍රීතිමත් ජීවිතයකට

ජපානෙ කළාට ඕවා ලංකාවේ කරන්න පුළුවන් වැඩද?

දෙමව්පියො දරුවෝ ගැන කොච්චර හිතනවාද, කොච්චර කැපකිරීම් කරනවද කියලා හරියටම තේරුම්යන්නෙ අපිත් අම්මලා තාත්තලා වුණු දවසට කියලයි මට හිතෙන්නේ. ගොඩක් දෙමව්පියෝ තමන්ගේ සතුටට කලින් ඉස්සර කරගන්නේ දරුවන්ගේ සතුට. ඒක හරි ආදරණීය හැඟීමක්.

2021 අවුරුද්දේ අන්තිම වගේ වෙද්දි දහම් මට කිව්වා රෝසි අපි ඊළඟ අවුරුද්දේ ඉඳන් හැම මාසෙම පොඩි අය වෙනුවෙන් මොකක් හරි ඉවෙන්ට් එකක් කරමු, එයාලත් ආසවෙයි. එතකොට හැම මාසෙම එයාලට වගේම අපිටත් අලුත් ටාර්ගට් එකක් තියෙනවානෙ කියලා. 2022දී අපේ ජීවිත පටන්ගත්තේ එහෙම සුන්දර හේතු එක්ක. දහම් මුලින්ම කරන්නේ අපේ උපන්දින සහ අනිත් විශේෂ දවස්වලට වෙනදා වගේම කලින් නිවාඩු දාන එක. ඒක සතිඅන්තයේ දවසක් වුණොත් ඊට කලින් දවසෙ හරි සතිඅන්තයට පස්සේ දවසේ හරි එයා නිවාඩුව දානවා.

අපි දරුවන්ගේ උපන්දිනවලට එයාලා ආස තැන් කලින්ම අහලා ප්ලෑන් කරලා ඒ තැන්වලට එක්ක ගියා. ඉතිරි මාසවලත් ෆිල්ම් එකක් බලන්න, බෝලින්වලට, වෝටර් පාර්ක් එකට, සත්තුවත්තට, පොඩි ඩ්‍රයිව් එකකට, මල් බලන්න, සරත් සමයේ කොළ හැලෙනවා බලන්න එහෙම එක්කරගෙන ගියා. වියදම් සැරවුණ මාසවලදිත් අපි දරුවෝ වෙනුවෙන් කරනවා කියලා හිතපු දේවල් නොකර හිටියේ නෑ. ඒ නිසා ලොකු ගමන් බිමන් යනවා වෙනුවට අපි කළේ දවල්ට කන කෑමත් හදාගෙන ගෙවල් ළඟ පාර්ක් එකකට පොඩි පික්නික් එකක් ගියපු එක. මේ අවුරුද්දේ අන්තිම මාසෙ වෙද්දි ඒ හැමදෙයක් ගැනම පුදුම සතුටක් දැනුණා. දරුවන්ව සතුටු කළා විතරක් නෙවෙයි, අපිත් ගොඩක් සතුටු වුණා.

හැමදේම කල් තියාම ප්ලෑන් කළා. හිතුව ගමන් යන්න පුළුවන් හැකියාවක් අපිට නැති නිසා යන වියදම් ගැනත් හිතුවා. දහම් හැමවෙලේම කියනවා තව ටිකක් ලොකු වුණාම දරුවො, යාළුවෝ එක්ක එළියට යන්නයි ආසා. ඒ දේවල් ඒ කාලෙදි දරුවන්ට විඳින්න දෙන්න ඕන, ඒ හින්දා අපි එක්ක, එක්ක යන්න පුළුවන් කාලේ පුළුවන් විදියට එයාලා ආස තැන්වලට එක්ක යමු කියලා. මොන දේ සැලසුම් කරද්දිත්, දරුවන්ගේ සතුට ඉස්සර වෙනවා කියලා මං කිව්වේ ඒකයි. එහෙම දැනෙන හැඟීමත් හරිම සැනසීමක්.

දැන් ඔයාලා හිතයි ඔයා ඉන්නේ පිටරට, ලංකාවේ නෙවෙයි, මෙහේ තත්ත්වේ කොච්චර අමාරුද කියලා දන්නේ අපි, ඕවා කරන්න පුළුවන් වැඩද කියලා. මං ඔයාලාට තව දෙයක් කියන්නම්කෝ. දවසක් දහම් මට හරි ලස්සන වචන ටිකක් කිව්වා. අපිට දේවල් කරන්න පුළුවන් සීමාව ඇතුළේ අපි සතුටින් නම් ජීවිතේ හරි පහසුයි රෝසි කියලා. අපි කරන්න ඕනේ අපිට පුළුවන් දේ. ඉස්සර මෙහෙම හිටියේ දැන් එහෙම බෑ කියලා මනසින් වැටෙන් නැතුව ‘මෙහෙම ඉන්නෙත් මගේ හිත ශක්තිමත් නිසා’ කියලා හිතන්න. එතකොට අපේ දරුවොත් ඒවාට හුරුවෙනවා. අපි නොකා නොබී උඹලාව සතුටින් තිබ්බේ කියලා දරුවන්ට දැනෙන්න දෙන එක නෙවෙයි කරන්න ඕනේ. අපි සතුටු වුණේ ඔයාලාව සතුටු කරලා කියලයි දැනෙන්න දෙන්න ඕනේ.

ඒ නිසා දවසක දරුවෝ එක්ක හවස්වරුවේ නිදහසේ ටිකක් පයින් ඇවිදලා එන්න, ඔයාලාට පුළුවන් එක කෑම ජාතියක් හදාගෙන ළඟපාත තියන ඇලක් දොලක් ළඟට හරි ගිහින් එතැන් ඉඳන් ඒ මොහොතේ සතුට දරුවෝ එක්ක විඳින්න. ජීවිතේ ප්‍රශ්න විසඳෙනකල් අපිට බලන් ඉන්න බෑ. එහෙම හිටියොත් සතුට පේන තෙක් මානෙකටවත් එන්නේ නෑ. ඒ නිසා කාටවත් නොකර ඒ ඒ අවස්ථාව අනුව පුළුවන් හොඳම දේ කරලා දරුවෝ සතුටු කරන්න. දවසක අමාරුකම් මැද්දෙත් මගේ අම්මා තාත්තා මාව සතුටෙන් තිබ්බේ එහෙමයි කියලා එයාලට මතක් වෙයි. ඒ දේවල් පසුතැවීමකට වඩා ඔයාගේ හිතට ලොකු සැනසීමක් ගෙනත් දෙයි.

ඔයාගේ සීමාව ඇතුළේ ඔයාට පුළුවන් දේ කරන්න. එහෙම හැඩගැහුණාම මොන ප්‍රශ්න තිබ්බත් ඒ ප්‍රශ්නවලට ශක්තිමත්ව මූණදෙන්න හිතේ සතුට ඔයා ගාව තියෙනවා. අද මට කුකුල්මස් එක්ක බත් කන්න තිබ්බට හෙට මට පරිප්පුයි බතුයි කන්න වුණොත් මං සතුටුවෙන්නේ මං ඉන්නේ බඩගින්නේ නෙවෙයි මට කන්න මොනාම හරි තියෙනවා කියලා හිතලා.

ඉතින් පුළුවන් නම් මේ 2023 අවුරුද්ද පටන් ගනිද්දී ලොකු දේවල් නැතුව, ඔයාගේ දරුවෝ සතුටු කරන්න පුළුවන් පුංචිම දේවල් දොළහක් හොයාගන්න. එයාලට නොකියා ඔයාලා සැලසුම් කරන්න. ඔයාලා දන්නවාද එහෙම සැලසුම් කරන එක පවා විනෝදයි, සතුටුයි. මං ඒ හැඟීම හොඳටම දන්නවා. නිවාඩු ගන්න අපහසුමනම් කැලන්ඩරේ නිවාඩු දිනයන් බලලා ඒ දේවල් සැලසුම් කරන්න. දරුවා ඉපදුණ දවස විශේෂ කරන්න. පුළුවන් නම් ගෙදර උයන එක ජාතියන් එක්ක හරි බත් පාර්සලයක් හදලා දරුවා ලව්වා පාරේ ඉන්න නැතිබැරි කෙනෙකුට දෙන්න. ඒවත් හිත සතුටු කරන දේවල්.

අපේ දරුවන්ගේ සතුටයි අපේ සතුට වැඩි කරන්නේ. ඒ මූණුවල හිනාවයි අපේ මූණුවල හිනාවට එළියක් දෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් පුංචිම විදියකට හරි එයාලව සතුටෙන් තියමු.

හෂිණී මනමේන්ද්‍ර