විශේෂාංග

ගිනිමැල පරිස්සම් කරන අම්මලා වෙතටයි

සාපේක්ෂව ගත්තොත් පිරිමින්ට වඩා කාන්තාවන්ට ටිකක් වගකීම් වැඩියි. එයිනුත් පුංචි දරුවෝ ඉන්න අම්මලාට තියෙන වගකීම් ප්‍රමාණය ඊටත් වැඩියි. තමන්ගේ දරුවො මිනීමරුවන්, අපරාධකාරයින් නොකර සමාජයේ යහපත් පුරවැසියන් කිරීමේ වගකීම වැඩිපුරම පැවරෙන්නේ අම්මලාගේ අතට. කෙනෙකුට කියන්න පහසු වුණාට ඒක ඉතාම බැරෑරුම් වගකීමක්. සාමාන්‍යයෙන් අම්මා කෙනෙකුට පැවරෙන වගකීම් ප්‍රමාණය එච්චර බරපතළ නම් රැකියාවක් කරන අම්මා කෙනෙකුගේ වගකීම් ප්‍රමාණය කොහොම ඇතිද? එහෙම කෙනෙකුගේ වගකීම් ප්‍රමාණය අනිත් අයට වඩා දෙතුන් ගුණයක්වත් වැඩියි. ඒ වගේම රැකියා කරන අම්මලා ගොඩක් වෙලාවට ඉන්නේ ආතතියෙන්. රැකියාව, පවුල, ළමයි, තමන්ගේ මානසික මට්ටම ආදී මේ කියන එක බලකණුවක් හරි බිඳවැටුණොත් ඉතුරු බලකණු ටික නිකම්ම වැටෙනවා. ඒ නිසා රැකියා කරන අම්මලා මේ ටික තේරුම් නොගෙන, වැඩ කළමනාකරණය කර නොගත්තොත් ඔවුන් අධික ආතතියට පත්වී පවුල කැඩී බිඳීයාම කීයටවත් නවත්වන්න බැහැ.

ඉතින් ඒ නිසා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රැකියා කරන අම්මලාට සහ අනාගතයේදී රැකියාවක් කරන ගමන් මව් පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට. අද කාලේ රට යන අත බැලුවම අනාගතයේදී කොහොමත් සැමියා සහ බිරිඳ දෙන්නටම රැකියාවක් කරන්න වෙනවා. ඒ නිසා මේ ලිපිය අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් එකක් වේවි.

රැකියාවක් කරන අම්මා කෙනෙක් වෙනවා කියන එක ගිනිමැලයක් බලාගැනීම වගේ අමාරු වැඩක්. ඔයාගේ නොසැළකිලිමත්භාවයක් නිසා අවට වටපිටාවේ තියෙන හැම දෙයක්ම එක මොහොතකින් ගිනි ගන්න පුළුවන්. ඒ වගේම ඔයා සැළකිල්ලෙන් හිටියේ නැති වුණොත් අනිවාර්යයෙන්ම ගින්න නිවිලා යනවා. තව තවත් දර එකතු කරලා, අළු අයින් කරලා ගිනිමැලය ලස්සන කිරීමත් ඔයාට බාරයි.

ගිනිමැලයක් බලාගන්නකොට අනිවාර්යයෙන්ම ඔයා ගාව තියෙන්න ඕන දෙයක් තමයි වතුර. හේතුව තමයි ඕනම අවස්ථාවකදී ගින්න ව්‍යාප්ත වෙන්න පටන් ගත්තොත් වතුරවලට පුළුවන් ක්ෂණයකින් ඒක නිවලා දාන්න. සාමාන්‍ය ජීවිතයේදී මේ වතුර කියලා කියන්නේ ඔයාට තියෙන ඉවසීමටයි! රැකියාවක් කරන අම්මා කෙනෙක් කියලා කියන්නේ ඕනෑම අවස්ථාවකදී ෆයර් වෙන්න පුළුවන් කෙනෙක්. සාමාන්‍ය කෙනෙක්ට වඩා ඔයාට තියෙන බැරෑරුම් වගකීම් ප්‍රමාණයත් එක්ක ඕනෑම අවස්ථාවකදී ඔයාව තරහා ගන්වන, ආතතියට පත්කරන දෙයක් වෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ගත්තොත් උදේ රැකියාවට යන්න ලෑස්ති වෙලා පිටත්වෙන්න හදද්දිම ඔන්න ඔයා දකිනවා ළමයා සෙල්ලම් කරන්න ගිහිල්ලා වැටිලා හොඳටම තුවාල කරගෙන කියලා! ඉතින් ළමයගේ ළමා මානසිකත්වය කියන එක අමතක වෙලා ඔයා ගිහින් අර තුවාල වෙලා ඉන්න ළමයාට ගහනවා දඟ වැඩියි කියලා. හැබැයි ගහන්න ඇත්තම හේතුව තමයි ළමයා ඔයාට තියෙන වගකීම් ගැන අවබෝධයක් නැතුව කටයුතු කිරීම. ඔයාට අමතක වෙනවා ඒ පරිණතභාවය එන්නෙ ළමයාගේ වයස වැඩි වීමත් එක්ක කියලා. හදිස්සියේ ඔයා ආවේගාත්මකව දෙන දඬුවමක් නිසා ළමයගේ හිතේ Trauma එකක් (විශාල කම්පනයක්) හටගත්තොත් පසුකාලීනව ඒක එයාගෙ පෞරුෂත්වයට සහ හැසිරීම්වලට නොසෑහෙන්න බලපාන්න පුළුවන්!

ඔන්න දැන් ඔයා ඔෆිස් එකට යන්නෙත් ඔය ආවේගය හිතේ තියාගෙන. එතැනදී යහළුවෙක් කරන විහිළුවකට වුණත් ඔයාට යක්ෂාවේශ වෙන්න පුළුවන්. ඇයි ඉතින් උතුරලා යන්න ආසන්න ගානට ඔයා තරහෙන් පිරිලානේ ඉන්නේ. ඉතින් එහෙම වෙලාවට ඉවසීම කියන වතුර භාජනය ඔයා ළඟ නොතිබුණොත් ඔයාගේ ගිනිමැලයෙන් අවට පරිසරයට ගින්න ව්‍යාප්ත වෙලා හැමදේම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීම හොඳට පුරුදු කරන්න. හැබැයි ඉවසීම පුරුදු කරන්නත් හදිස්සි වෙන්න එපා. ඒකටත් ඉවසන්න. කාලයක් යද්දි ඔයාටම තේරේවි ඉවසීමේ හැකියාව වැඩිවෙනකොට ඔයාගේ රැකියාවේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා වගේම ගෙදර දොර වැඩකටයුතුත් හොඳින් සිද්ධවෙනවා කියලා.

දෙවැනි කාරණාව තමයි ගිනිමැලය ඕනවට වඩා පාලනය කරන්න යන්න එපා. ගින්දර ගැන ඔයාට අනාවැකි කියන්න බැහැනේ. ඒ නිසා ගිනිමැලයේ හැමදේම සීයට සීයක් පාලනය කරන්න ගියොත් ආතතියට පත්වෙන්නේ ඔයාමයි. රැකියාවක් කරන අම්මා කෙනෙක් විදිහට ඕනවට වඩා දවස සැලසුම් කරන්න යන්නත් එපා. ජීවිතේ තියෙන ඉලක්ක හඹායන්නත් ඕනවට වඩා හදිසි වෙන්න එපා. රාමු ඇතුළේ හිරවෙන්න එපා. උදාහරණයක් විදිහට සමහර කාන්තාවන් ළමයා හම්බ වෙන්න කලින් එදිනෙදා රෙදි ටික එදිනෙදා හෝදලා, එදිනෙදාම හවසට අල්මාරියට දානවා. හැබැයි ළමයා හම්බ වෙලා කාලයත් එක්ක ගොඩගැහෙන වැඩ රාජකාරිත් එක්ක දවස ගානෙ මේ දේවල් කරන්න අමාරු වෙනවා. ඒ වගේ වෙලාවට කරන්න ඕන ටිකක් නම්‍යශීලී වෙලා, රෙදි හේදීමට සතිඅන්තය යොදාගැනීම මිසක කලින් කරා දැනුත් කරන්න ඕන කියලා ආතතියට පත්වෙන එක නම් නෙමෙයි.

ගිනිමැලයක් බලාගන්න සහ ලස්සන කරන්න නම් ඔයාට හොඳ විශ්වාසයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඇතුළාන්තයේ තියෙන විශ්වාසය නැති වුණොත්, ගින්දරට බය වුණොත් ඔයා පරදිනවා. පුංචි ළමයි ඉඳගෙනත් PHD කරන අම්මලාව දැකලා තියෙනවා නේද? සමහර වෙලාවට ඔයා දැකලා ඇති විදේශික කාන්තාවන් චූටි ළමයි වඩාගෙන ලංකාව පුරාම යාළුවොත් එක්ක ඇවිල්ලා රවුම් ගහනවා. සමහර තනිකඩ අම්මලා ළමයින් එක්ක තනියමත් එනවා. හැබැයි ලාංකේය සමාජයේ ගොඩක් වෙලාවට අපි දකින්නේ ළමයා හම්බවුණ ගමන් රැකියාවෙන් අයින්වෙන කාන්තාවන්. ළමයි කසාද බන්දල ඉවර වෙනකන් දඹදිව යන ගමන කල්දාන මව්වරුන්. උපාධියක් කරලා වුණත් ආත්ම විශ්වාසයක් නැති නිසා රස්සාවට යන්නේ නැතුව ළමයා එක්ක ගෙදරට වෙලා ඉන්න කාන්තාවන්. ආත්ම විශ්වාසය කියන එක නැතිවුණහම උඩට යන්න තියා ජීවිතය විඳින්නවත් හරියට බැහැ.

ගිනිමැලයක් පරිස්සම් කරගන්න ඔයා Smart වෙන්න ඕන. වැස්සක් එනවා කියලා තේරුණ ගමන් ලෑස්ති වෙන්න ඕන. නැතුව, අනේ වහිනවා කියලා අඬ අඬ ඉන්න ගියොත් ගිනිමැලේ නිවිලා යන එක නවත්වන්න බෑ. ඒ නිසා අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වෙන්න පරක්කු වෙන්න එපා. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන්නම් ආයතන ප්‍රධානියා එක්ක කතා කරලා දවස් හතරක් ඔෆිස් එකේ ඉඳන් වැඩ කරන ගමන් එක දවසක් Work from home කරන්න බබාලත් ගොඩක් සතුටු වෙයි. ඒ වගේම තමන්ගේ අම්මා කොච්චර මහන්සි වෙනවද කියන දේ එයාලට බලාගන්නත් පුළුවන්. මේ විදියට වැඩ කරන මං දන්න අම්මලා කිහිපදෙනෙක්ම ඉන්නවා.

ඉතින් අවසාන වශයෙනුත් කියන්න තියෙන්නෙ වතුර බාල්දියක් හැමවෙලාවෙම ළඟ තියාගන්න. හැමදේම ඕනවට වඩා පාලනය කරන්න යන්න එපා. විශ්වාසය වැඩි කරගන්න. Smart වෙන්න. එතකොට දවසක ඔයාගේ ළමයා කියාවි ‘‘මගේ අම්මා තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා කියලා!’’.

හසින්ත හේවාවසම්