Latest News

ගැබිනි මව්වරුන්ට ලබා දෙන යකඩ පෙති කිසිදු රෝහලක නැහැ

ගැබිනි මව්වරුන්ට ලබා දෙන යකඩ පෙති කිසිදු රෝහලක නොමැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න චෝදනා කරනවා.

ළදරුවාගේ හා මවගේ වර්ධනයට ඉතා අත්‍යවශ්‍ය මෙම ඖෂධය මේ වන විට සායනවලදී ගැබිනි මව්වරුන්ට ලබා නොදෙන බවත් ඒ අනුව මව්වරුන්ට දරුවෙකු බිහිකරන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට වී ඇති බවත් ජාතික සංවිධායකවරිය සඳහන් කළා.

මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කලේ, ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට මස්, මාළු, බිත්තර මිල දී ගැනීමට ප්‍රමාණවත් ආදායමක් මව්පියන් අති බහුතරයකට නොමැති බවත් මෙතෙක් කලක් සායනවලින් ලබා දෙන ඖෂධ යම් පමණකින් ගැබිනි මව්වරුන්ගේ වර්ධනයට සහය වූ බවත් ය.

මේ වනවිට යකඩ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ආහාරවලින් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බවත්, එවැනි පසුබිමක රෝහල් සායනවලදී “යකඩ පෙති නෑ” යනුවෙන් වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩල පවසන බවත් ඇය සඳහන් කළා.

මීට අමතරව දරුවන් හා වැඩිහිටියන් විජලනයට පත්වූ විට හා අතීසාරය වැනි අවස්ථාවකදී වෛද්‍යවරුන් නියම කරන ‘ජීවනී’ රෝහල්වලින් හෝ සායනවලින් ලබා නොදෙන බව ද හේමමාලි අබේරත්න මහත්මිය පවසනවා.

මේ වන විට ‘ජීවනී’ පිටතින් ගන්නා ලෙසට වෛද්‍යවරුන් දැනුම් දෙන බව පැවැසූ හේමමාලි අබේරත්න වෙළෙඳපොළේ ‘ජීවනී’ පැකැට්ටුවක් රුපියල් 400-500 අතර මිලක පවතින බව සඳහන් කළා.