විශේෂාංග

බනිස් කන්න ඕනනම් ළඟම තියෙන කොස් ගහට නගින්න

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා. අද කියලා දෙන්නේ කොස් පිටි හදන හැටි.

1940-50 ලෝක යුද්ධ කාලෙදි ලොකේ ගොඩක් රටවල මිනිස්සු කන්න බොන්න නැතිව හාමතේ මියගියා. යුද්දේ නිසා ඔය කාලේ අපේ රටට ආනයනය කරපු ආහාරපානත් සීමා වුණා. ඉතින් ඒ දවස්වල එක පවුලකට ලැබුණේ හාල් සේරු 2ක් විතරයිලු. 1970දී මැතිනිය ආනයන සීමා කරලා දේශීයත්වය මුල් කරගත්තු ආර්ථික ක්‍රමයකට ගිය වෙලෙත් ජනතාව අතර ආහාර හිඟකමක් ඇතිවුණා. හැබැයි ඒ කවමදාකවත් අපේ රටේ මිනිස්සු කන්න බොන්න නැතිව බඩගින්නේ මැරුණා කියලා නම් අපි අහලා නැහැ. අපේ පොළොවේ අපූරුවට වැවෙන අල, බතල. කොස්, දෙල් ඒ හැමවතාවකදීම අපිට පිහිට වුණා. ඒ අතරිනුත් කොස් ගහ බොහොම විශේෂයි.

කොස්වලින් කරගන්න පුළුවන් ස්වයං රැකියා කිහිපයක් ගැන මීට කලිනුත් අපි කතා කරලා තියෙනවා. හැබැයි ඉතින් කොස්වලින් කරන්න පුළුවන් වැඩ හිසේ කෙස් ගාණට තියන නිසා අදත් අපි කතා කරන්න හිතුවේ කොස්වලින් කරන තව නිෂ්පාදනයක් ගැන.

පාන්පිටිවල හිඟකම නිසා මේ දවස්වල පාන්පිටි බොහොම ගණන්. ඒ නිසාම පාන්පිටිවලින් හදන ආහාර ආදියත් අහස උසට ගණන් ගිහින්. හැබැයි ඒ වෙනුවට විකල්පයක් විදියට කොස් පිටි යොදාගන්න අපිට පුළුවන්.

බේකරි නිෂ්පාදන, රොටී වර්ග සහ විවිධ අමතර ආහාර නිෂ්පාදනයට මේ හදන කොස් පිටි භාවිතා කරන්න පුළුවන්. පාන්පිටිවලට වඩා පෝෂණීයබවෙනුත් ඉහළ නිසා මේවට හොඳ වෙළඳපොළක් හදාගන්න එක අමාරු නැහැ.

කොස් පිටි හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ හොඳින් පැසුණු කොස් විතරයි. කොස් 1kgකින් අපි මුලින්ම මේ වැඩේ කරලා බලමු.

 

පියවර 1

මුලින්ම කොස් මදුලු ටික වෙන් කරගෙන තීරුවලට කපාගන්න.

 

පියවර 2

කොස් ටික රෙදි කෑල්ලක පොට්ටනියක් විදියට බැඳගෙන උතුරන වතුර භාජනයකට දාලා විනාඩි 2ක් විතර තම්බගන්න. ඒ ක්ෂණිකවම සීතල වතුරට දාලා විනාඩි 15ක් විතර තියන්න.

 

පියවර 3

කොස් විජලන යන්ත්‍රයක් තියෙනවා නම් සෙන්ටිග්‍රේඩ් අංශක 55-60ක උෂ්ණත්වයකින් පැය 10ක් විතර වේලගන්න.

 

පියවර 4

විජලන යන්ත්‍රයක් නැතිනම් සුදු යකඩ වගේ පෘෂ්ඨයක අතුරලා එකදිගටම අව්ව ලැබෙන ස්ථානයක තියලා දවසට පැය 8 බැගින් දවස් 4-5ක් වේලාගන්න.

 

පියවර 5

පස්සේ බ්ලෙන්ඩර් එකකින් මේ ටික පිටි කරගන්න. පොලිපොපිලීන්(PP) ගේජ් 300 පොලිතීන් බෑග්වල අසුරලා හොඳට සීල් කරලා වෙළඳපොළට නිකුත් කරන්න. කොස් පිටි පැකට් එකක් කිසිම කරදරයක් නැතිව අවුරුද්දක් විතර කල්තියාගන්න පුළුවන්. කොස් පිටි 1kg ක් රුපියල් 300-400කට අලෙවි කරගන්නත් පුළුවන්.

වැඩි විස්තර දැනගන්න ඕනෙ නම් 0714766819 අංකයට කතා කරන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි