අම්මේ, ඔයාගෙ පුතා ජීවත්වෙන්න තියෙන ඉඩ 4% යි ඒත් මැරෙන්න 96% ක ඉඩක් තියෙනවා
මයිකල් ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ. සුදුම සුදු පාට හරි ලස්සන කොලු පැටියා. ඒ නිසාම එයාගෙ අම්මා ගොඩාක් සතුටුවුණා මට හරි ලස්සන සුදුපාට කොලු පැටියෙක්නේ ලැබිලා ඉන්නේ කියලා. හැබැයි ඒ අම්මා ඒ වෙනකොටත් නොදන්න එක දෙයක් තිබුණා. ඒ තමයි පුංචි මයිකල් ඉපදිලා තියෙන්නෙම අවාසනාව කරේ එල්ලගෙන කියලා. මොකද ඉපදිලා අවුරුද්දක් යන්නත් කලින් මයිකල්ට දුර්ලභ ඝනයේ පිළිකාවක් හැදෙන්න නියමිතව තිබුණා. ඒත් ඒක දෛවය මිසක් වෙන නම් කවුරුත්ම දැනගෙන හිටියේ නෑ.
ඉපදිලා අවුරුද්දක් යනකොට මයිකල්ට ඒ පිළිකාව හැදුනා. ඒ පිළිකාව හැදුනොත් සුව කරන්න බැහැ කියන තැනයි ඒ වෙනකොට වෛද්‍යවරුන්ගේ හිටියේ. ඉතින් වෛද්‍යවරු ඇවිත් මයිකල්ගේ තත්ත්වය එයාගේ අම්මට කියද්දි ඒක ඇයට දරාගන්න බැරිවුණා. ඔව් ඉතින් තමන්ගේ දරුවට පිළිකාවක් කියද්දි කොයි අම්මටද දරාගන්න පුළුවන්. අවසානේ වෛද්‍යවරු කිව්වේ දරුවා තවත් ජීවත්වෙන්නේ මාස කීපයක් විතරයි, ඒ නිසා අදම රෝහලෙන් ගෙදර එක්ක ගිහින් එයාව සතුටින් තියන්න කියලා.
හැබැයි මයිකල්ගේ අම්මට ඕනේ වුණේ තමන්ගේ දරුවව කොහොමින් හරි ජීවත් කරවන්න. ඒ නිසා ඇය රෝහලෙන් පිට නොවී වෛද්‍යවරු මුණගැහිලා මෙන්න මෙහෙම අහනවා.
‘‘මට මගේ දරුවා මැරෙන්න තියෙන ඉඩ දැනගන්න ඕනේ නෑ. මගේ දරුවා බේරගන්න තියෙන ඉඩ කොච්චරක්ද කියලා විතරක් මට කියන්න.’’
‘‘මයිකල්ට ජීවත්වෙන්න තියෙන ඉඩ 4%යි. මියයන්න තියෙන ඉඩ 96%යි. ඒක නිසා දරුවා ගෙදර එක්ක යන්න.’’
හැබැයි මයිකල්ගේ අම්මා දැක්කේ අර 4% ගැන විතරයි. ඒ නිසා ඇය වෛද්‍යවරු ඉදිරියේ වැඳ වැටිලා කිව්වා දරුවා වෙනුවෙන් කරන්න තියෙන පුංචිම දෙයක් වුණත් ඒක කරන්න කියලා. ඒත් ඉතින් වෛද්‍යවරුන්ට කරන්න දෙයක් නම් එතැන ඉතුරුවෙලා තිබුණේ නෑ. ඔය අතරේ තමයි ඒ රෝහලට ඇමෙරිකාවේ වෛද්‍යවරයෙක් එන්නේ. ඔහු මයිකල්ව බලලා මෙහෙම කතාවක් කියනවා.
‘‘අපි මේ පිළිකාවට පරීක්ෂණ මට්ටමින් බෙහෙතක් හදාගෙන යනවා. ඒත් ඒක තාම මිනිස්සුන්ට දීලා නෑ. අපි ළමයි විසිපහක් අරන් මේ බෙහෙත පරීක්ෂා කරන්න යන්නේ. කැමති නම් ඔබේ දරුවත් අපට දෙන්න. හැබැයි මේ බෙහෙත හරියනවට වඩා වරදින්න තියෙන අවස්ථාව වැඩියි. ඒ නිසා ලොකු ජීවිත අවදානමක් තියෙනවා.’’
ඇමෙරිකානු වෛද්‍යවරයා මොන කතාව කිව්වත් මයිකල්ගේ අම්මගේ හිතේ තිබුණේ ඒ බෙහෙත හරි යයි කියන බලාපොරොත්තුව විතරයි. ඒ හින්දා අම්මා ඒ පරීක්ෂණයට දරුවා දෙන්න කැමතිවුණා. කරුමයක මහත කියන්නේ පරීක්ෂණයට පෙනී හිටපු දරුවෝ එකින් එක මියගියා. හැබැයි ඒ අතරින් නොමැරී ඉන්න මයිකල්ට විතරක් මොකක්දෝ වාසනාවක් තිබුණා. අවසානේ එයා පිළිකා මාරයාගෙන් බේරුණා.
ඒත් පුංචි මයිකල්ගේ ජීවිතේ සුන්දර එකක් කරන්න නම් එයාගේ දෛවය පොඩ්ඩක්වත් ඉඩදුන්නේ නෑ. එහි ප්‍රතිඵලයක් විදිහටයි ඊළඟට එයාට දරුණු හෘදයාබාධයක් එන්නේ. ඒ වෙලාවෙත් බෙහෙත්වලින් ඒක පාලනය කරන්න වෛද්‍යවරු සමත්වුණා. හැබැයි මයිකල් ආයෙත් ගෙදර එවන්න කලින් වෛද්‍යවරු රෝහලේදි එයාගේ අම්මට මෙහෙම කතාවක් කිව්වා.
‘‘මේ දරුවාට කවදාවත් පාසල් යන්න ලැබෙන එකක් නෑ. සෙල්ලම් කරන්න ලැබෙන එකකුත් නෑ. එකතැනටම වෙලා ඉන්න වෙයි.’’
එදා අම්මා එළියට එනකල් ඉඳලා පුංචි මයිකල් අහනවා වෛද්‍යවරු මොකද කිව්වේ කියලා. ඒ වෙලාවේ අම්මා ඇත්ත කිව්වේ නෑ. ඇය දරුවගේ හිත හැදෙන්න මෙහෙම කියනවා.
‘‘බයවෙන්න දෙයක් නෑ. සේරම හරි යයි කිව්වා.’’
දින කීපයකින් මයිකල්ට දෙවෙනි හෘදයාබාධයත් එනවා. හැබැයි ඒ සැරේ නම් එයාට ගොඩාක් අමාරු වුණා. දවසක් රෝහලේ ඇඳේ ඉන්නකොට අම්මා දරුවට පුංචි තෑග්ගක් දුන්නා. ඒ තමයි බේස්බෝල් ග්ලවුස් එකකුයි බේස් බෝලෙකුයි. එහෙම දීලත් නිකන් හිටියේ නෑ. රෝහල් වාට්ටුවේ ඒ අම්මා මයිකල් එක්ක බේස්බෝල් සෙල්ලම් කළා. ඒ අතරතුර තමයි දරුවට හිතෙන්නේ බේස්බෝල් ක්‍රීඩකයෙක් වෙන්න. ඒ හීනය ගැන අහපු මිනිස්සු පුංචි මයිකල්ට හිනාවුණා.
හැබැයි දෛවය ආයෙමත් මයිකල්ට හරස්වුණා. එයා උපතින්ම දුර්වල ළමයෙක් නිසා නිතර නිතර ලෙඩරෝගවලට ගොදුරු වුණා. ඔය අතරේ ආයෙත් හැමෝම කියන්න පටන් ගත්තා මයිකල්ට බේස්බෝල් ගහන්න බෑ, ඒ හීනේ අතාරින්න කියලා. ඒත් පුංචි මයිකල්ගේ ගමන නවත්තන්න ඒ වචනවලට පුළුවන් වුණේ නෑ. අවසානේ එයාට පුළුවන් වෙනවා වයස අවුරුදු දාහතේදි බේස්බෝල් ක්‍රීඩකයෙක් විදියට ඇමරිකාවේ පදිංචියට යන්න. ඇමෙරිකා යන මයිකල් වෘත්තීමය ක්‍රීඩකයෙක් විදියට බේස්බෝල්වලින් දක්ෂතා දක්වනවා.
දැන් මයිකල් සාමාන්‍ය තරුණයෙක්. ඔහු එදා හිටියේ ඇරිසෝනා ප්‍රාන්තයේ බේස්බෝල් තරඟයකට සහභාගි වෙලා. එකපාරටම ඔහුට හෘදයාබාධයක් ඇවිත් සිහිනැතුව බිම ඇද වැටෙනවා. අවසානේ ඔහු නතරවෙන්නේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ. ඒ සැරේ නම් මයිකල්ට ටිකක් අමාරු වෙනවා. එහි ප්‍රතිඵලය වුණේ ඔහුට බේස්බෝල් ක්‍රීඩාවට සමුදෙන්න සිද්ධවුණු එක. ඒක ඔහුට ගොඩාක් දැනුණා. ඒ නිසා ඔහු හැමදාම නින්දට ගියේ ඊළඟ දවසේ මට ඇස් අරින්න නම් ලැබෙන්න එපා කියන බලාපොරොත්තුව එක්ක. මොකද ඒ තරමටම ඔහුගේ ජීවිතේ ඔහුට එපාවෙලයි තිබුණේ. හැබැයි ඒ හැම මොහොතේම මයිකල්ට අම්මා කියපු කතාවක් මතක් වුණා.
‘‘මයිකල්, ජීවිතේ තත්ත්වය තීරණය කරන්නෙ ඔයා වැටෙන වාර ගණනින් නෙවෙයි. ආපහු නැඟිටින වාර ගණනින් කියලා හිතාගන්න.’’
අම්මගේ කතාව ඔලුවට අරන් මයිකල් ආයෙමත් තමන්ගේ උපන් රටට යනවා. ඒ ඕස්ට්‍රේලියාවට. එහේ ගිහින් ඔහු බැංකුවක වැඩට යනවා. ටික දවසක් යද්දි මයිකල්ට අහම්බෙන් මුණගැහෙන්නේ ඒ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාව. එයා මයිකල්ට පොඩි හිනාවක් දාලා නිකමට වගේ මෙන්න මෙහෙම දෙයක් අහනවා.
‘‘තරුණයා, මගේ නම ටොම්. මං ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. තව අවුරුදු පහකින් ඔයා මේ බැංකුවේ කොතැන ඉන්නද කැමති?’’
මයිකල් දන්නේ නෑ මේ තමන් ඉදිරියේ ඉන්නේ ප්‍රධාන විධායක නිලධාරියා කියලා. ඒ නිසා ඔහු හිනාවෙලා මෙහෙම උත්තරයක් දෙනවා.
‘‘තව අවුරුදු පහකින් මං මේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාගේ පුටුවට එන්න කැමතියි.’’
මයිකල්ගේ කතාව ඇහුනා විතරයි ටොම් ගල්ගැහිලා ගියා. මොකද ඒක ටොම් කීයටවත් බලාපොරොත්තු වූ උත්තරයක් නෙවෙයි.
කාලය ගතවෙද්දි මයිකල් ඕස්ට්‍රේලියාවේ ළාබාලතම බැංකු කළමනාකරුවා වුණා. ඊටපස්සේ ළාබාලතම ප්‍රාදේශීය කළමනාකරු බවට පත්වුණා. ඊටත් පස්සේ ළාබාලතම ප්‍රාන්ත කළමනාකරු වුණා. අවසානේ ඔහු නතරවුණේ බැංකුවේ ළාබාලතම ජාතික අලෙවි කලමනාකරු වෙලා. ඒ වෙනකොට මයිකල්ට අවුරුදු විසිතුනයි. ඒත් ඒ වෙද්දි ඔහු යටතේ බැංකු සියගණනක් වගේම දහසකට කිට්ටු සේවක පිරිසක් හිටියා. කොහොමින් හරි මයිකල් පොහොසත් මනුස්සයෙක් වුණා. හොඳ තරුණියක් සමඟ විවාහත් වුණා.
කොච්චර ලොකු මනුස්සයෙක් වුණත් මයිකල්ට මුල මතක තිබුණා. හැබැයි මුල හිටියේ තමන්ගේ අම්මා විතරයි. ඒ නිසා මයිකල් එයාගේ අම්මට අලුත්ම නිවසක් අරන් දුන්නා. මේ අතරවාරයේ ආයෙත් ඔහුගේ සුපිරි ජීවිතේට දෛවය හරස්වුණා. ඒ එක්වරම මතුවුණු උගුරේ පිළිකාවක් නිසා. එදා මයිකල් රෝහලේ ඉඳන් ගෙදර එද්දි අම්මා ඇහුවා මොකද වෛද්‍යවරු කිව්වේ කියලා. එතකොට මයිකල්ට මතක්වුණේ තමන්ගේ හිත හදන්න එදා අම්මා කියපු කතාව. ඔහු ඒකම ඒ මොහොතේ අම්මට කිව්වා.
‘‘බයවෙන්න දෙයක් නෑ. සේරම හරි යයි කිව්වා.’’
දැන් ‘මයිකල් ක්‍රොස්ලන්ඩ්’ (Michael Crosland) කියන්නේ ලෝකයේ ජනප්‍රිය දේශකවරයෙක් සහ ප්‍රසිද්ධ ලේඛකයෙක්. ලෝකය පුරාම මිනිස්සුන්ට ඔහු ජීවිතය ජයගන්න හැටි කියලා දෙනවා. ඒ වගේම ඔහු ලියන පොත් ලෝකය පුරා අලෙවිවෙන්නේ මිලියන ගණනින්. එදා ඉපදිලා ටික දවසකින් මයිකල් හිටියේ මියයන්න නියමවෙලා වුණත් ඔහුගේ හිතේ ශක්තිය ඒ දෛවය වෙනස් කළා. දැන් මයිකල් තරම් සතුටින් ඉන්න මනුස්සයෙක් ලෝකේ තවත් නෑ. ඒ නිසාම ඔහු අද ඔහුගේ හැම දේශනයක් අවසානෙටම මෙහෙම කතාවක් කියනවා.
‘‘අපි හැමෝගේම හෙට දවස අවිනිශ්චිතයි. ඒක අපි හැමෝටම පොදුයි. ජීවත් වීම කියන්නේ ජීවත්වෙන දින ගණනට අපි එකතු කරගන්නේ මොනවද කියන එක මිසක් ජීවත්වෙන දින ගණන නෙවෙයි.’’
රුවන් එස්.සෙනවිරත්න