විශේෂාංග

මහගෙදර අවුරුද්ද රසවත් කරපු ආච්චි අම්මගේ කැවිලි මේසේ තාම මතකයි – කැවිලි ගෙදර නදී

අවුරුදු කාලයට හැම ගෙදරකම අවුරුදු ඇතත්, මහගෙදර අවුරුදු මතක තවමත් සිරියාවය. කොවුල් හඬත්, එරබදු වසන්තයත් මැද ඇසෙන නෑසියන්ගේ කිචිබිචිය වසරේ ඉදිරි මාස කිහිපයේ සතුට සමාදනය ගැන ඉඟියකි. නැකතට සිරිතට විරිතට මුල්තැන දෙමින් සමරන එවන් මහා සංස්කෘතික මංගල්‍යයක්, එකමුතුකමේ සමගියේ සෞභාග්‍යයේ අගය අපට මොනවට කියාදෙනු ලබයි.

සොබාදහම ගම්මැද්දේ අවුරුද්දට ​බොහෝ ආශිර්වාද ගෙනෙනා අතරම, අත්තම්මාගේ අවුරුදු කැවිලි මේසය රස මවන උල්පතකි. ඉන් ඇතැම් කැවිලි පෙවිලි කළඑළි බසින්​නේම අවුරුදු කෑම මේසය රස ගන්වන්නටය.

ගමට එවන් නෑකමක් ඇති අත්තම්මාගේ කැවිලි මේසයෙන්, කැවිලි රස ගැන හොඳින්ම දැනගත් නදී කොඩිකාරත් ඇගේ නිවුන් දියණියන් වන හරිනි එස්.කොඩිකාර සහ හසදි එස්.කොඩිකාර මෙවර ‘ධරණී’ අවුරුදු කලාපය සරසනු ලබයි. නදී කොඩිකාර සම්මානනීය ඡායාරූප ශිල්පී චතුර එස්.කොඩිකාරගේ බිරිඳය. H&S කැවිලි ගෙදර සිට ඔවුන් අවුරුදු රස ගැන රස මතක අවදි කළේ මෙලෙසිනි.

‘‘මගේ ආච්චි අම්මට දරුවෝ දහදෙනයි. ඉතින් අවුරුදු කාලෙට මහගෙදර මඟුල් ගෙයක් වගෙයි. දරු මුණුපුරෝ හැමෝම එකතුවෙන නිසා ලොකු කැවිලි මේසයක් ගෙදර හැදෙනවා. කොණ්ඩ කැවුම්, කොකිස්, මුං කැවුම්, ආස්මි, කිරි අලුවා, පැණි වළලු, අග්ගලා, කිරිබත්, කෙසෙල් එක්ක ඒ කෑම මේසය අදටත් මගේ මතකයේ තියෙනවා. ඉතින් ආච්චි ඒ කැවිලි හදද්දී මමත් උදව් වෙනවා. ඉස්කෝලෙ යන දවස්වල ඉඳලම මට ඒ හැම රසකැවිල්ලක්ම හදන හැටි ආච්චි අම්මා කියලා දුන්නා. එදා ඒ අල්ලගත්ත රස පදම අද මං මගේ අතේ හුරුවත් එකතු කරලා හොඳින් කරනවා කිව්වොත් හරි.’’

නදී අපේ කතාබහ ඇරඹුවේ එලෙසිනි. තංගල්ල වීරකැටිය ගමේ උපන් ඇය විවාහයෙන් පසු පදිංචියට ආවේ ගම්පහ ඉඹුල්ගොඩටය. කලක් කොළඹ ෆාමසියක මුදල් අයකැමිවරියක ලෙස රැකියාව කළ ඇයට චතුර මුණගැහෙන්නේ මඟුල් ගෙදරකදීය. මඟුල් ගේ ඇයගේ මාමාගේයි. මාමාගේ හිතවතෙකු වූ චතුර ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප ගන්නට පැමිණ සිටියේය. ඒ හමුව වසර නවයක ආදරයක් වී, එකම නිවහනකට ඒමේ වාසනාව ගෙනෙන්නේය. ඒ 2008 වසරේදියි. දියණියන් දෙදෙනා පාසල් වයසට එද්දී, පවුලේ ආදායම වැඩිකරගත හැකි ස්වයං රැකියාවක් තිබුණානම් හොඳයැයි ඔවුනට සිතුණි.

‘‘අවුරුදු දවස්වලට ගමේදි දැක්ක ලොකු කැවිලි මේසය වගේම, ගම්පහ ගෙදරත් අවුරුදු කැවිලි මේසයට කැවිලි වර්ග ​​ගොඩක් තියෙනවට මම කැමතියි. ඉතින් මම කරන්නේ මම දන්න හැම රසකැවිල්ලක්ම හදනවා. ප්‍රවීණ ඡායාරූප ශිල්පී බන්ධු එස්. කෝඩිකාර කියන්නේ චතුරගේ තාත්තා. මහගෙදරදි ලොකු අවුරුදු කැවිලි මේසයක් නෑයෝ හිත මිතුරෝ වෙනුවෙන් එයාලත් ලෑස්ති කරනවාලු. ඉතින් අපි විවාහ වෙලා වෙන්වුණත් ඒ කෑම මේසය ඒ විදියටම ගෙදර පිළියෙල කරනවට එයා කැමති වුණා. ඔය විදියට කැවිලි රසට හදන්න පුළුවන් එකේ අපි ඒ විදියේ ස්වයං රැකියාවක් පොඩියට පටන්ගමු කියලා යෝජනා කළේ චතුරයි.’’

ඒ 2016 අවුරුද්දේය. ඒ වනවිට දියණියන් දෙදෙනා පෙරපාසල් වයසේයි. ඔවුන්ගේ වැඩකටයුතුද සොයා බලමින්, රසකැවිලි හදන්නට පටන්ගත්තත් එය අලෙවි කරන්නට තවත් පියවර කිහිපයක් තබන්නට තිබුණි. එකක් ව්‍යාපාරයක් ලෙස එය ලියාපදිංචි කිරීමය. අනතුරුව ලේබලයක් සැකසිය යුතුව තිබුණි.

‘‘මුලදි අපි ෆොටෝ කොපි කරලා තමයි ලේබල් ටික හදාගත්තේ. චන්දන පෙරේරා මහත්තයා එයාගේ සුපර් මාර්කට් එකට කැවිලි දාන්න අවස්ථාව හදලා දුන්නා. මුලදි සතියකට වරක් කැවිලි දැම්මා. පස්සේ ටික ටික ඉල්ලුම වැඩිවුණා. ඔහොම මඟුල් ගෙදරට, දානේ ගෙදරට වගේම අවුරුදු කෑම මේසෙටත් වෙනත් ඕනෑම උත්සව අවස්ථාවකටත් ගැලපෙන්න හොඳින් ප්‍රියමනාපව රසකැවිලි හදන්න පුළුවන් වුණා. ඒ විදියට අවුරුදු දෙක තුනක් යද්දි කොරෝනා ප්‍රශ්නේ ආවා. කොහොම හරි ඒ වෙලාවේ ගෙවල්වල කැවිලි පෙවිලි හදන්න අපහසුකම් තිබුණු අයගෙන් ඇණවුම් ගොඩක් ලැබුණා. අපි පුළුවන් විදියට ඒ සැපයීම කළා.’’

මුල් කාලයේ කාඩ්බෝඩ් පෙට්ටිවල දමාගෙන ගොස් කඩවලට රසකැවිලි දමන්නට ඔවුනට සිදුවුණි. කැවිලි පෙට්ටි දකිනවිට රියදුරන් බස්රථ නොනවත්වා ගිය අවස්ථා තිබූ බවත්, ඇතැම් කාලවලට පැය විසිහතරම නිදි මරාගෙන වැඩ කරන්නට සිදුවූ බවත් නදී කියන්නීය.

‘‘එක වෙලාවක් කොකිස් දහදාහක ඕඩර් එකක් ආවා. තවත් වෙලාවක අතිරස දහදාහක ඕඩර් එකක් ආවා. ඉතින් ඒ වගේ ඉල්ලුම අනුව මගේ ඥාතීන් ඇතුළු අසල්වාසීන් කිහිපදෙනෙක් ඒ කටයුතුවලට සහාය දෙමින් වැඩ කරනවා. ඒ වගේම දුවලා දෙන්නත් ඉස්කෝලේ ඇරුණු ගමන් දුවගෙන එන්නේ මේ වැඩවලට උදව් වෙන්න. ඒ දෙන්නට මං කොණ්ඩ කැවුම් හදන හැටිත් ඉගැන්නුවා. ඒ වගේම එයාලා අනෙක් හැම කෑම වර්ගයක්ම හදන හැටි දන්නවා. මට ගෙදර උයන පිහන වැඩවලටත් උදව් වෙනවා. පොඩි දුව නම් ලොකු වුණහම හොඳ චෙෆ් කෙනෙක් වෙන්න කැමතියි කියලා කියනවා.’’

හරිනිත් හසදිත් ඉපදෙන්නේ මිනිත්තුවක දෙකක වෙනසකිනි. ඔවුන් පාසල් යන්නේත්, ගෙදර වැඩවලට අම්මාට උදව් වෙන්නේත් එකටම ඇලී ගැලී හිඳිමිනි. දස හැවිරිදි මේ පැංචියන් දෙදෙනා ඉගෙනුම ලබන්නේ ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවි ප්‍රාථමික විද්‍යාලයේ පහවසර පන්තියේයි. ඉගෙනුමටද දෙදෙනා එක වාගේ දක්ෂය. පාඩම් කරන්නට වාගේම රසකැවිලි පැකට් කරන්නට තිබුණහොත් රෑ නිදි මරාගෙන වුව තාත්තාට උදව් කරන්නට මේ දූවරුන් දෙදෙනා බොහෝ කැමතිය.

‘‘මම ආච්චි අම්මා කැවිලි පෙවිලි හදනවා දැකලා ඒ ගැන හුරුවක් ලැබුවා. හැබැයි දැන් මම කැවිලි පෙවිලි හදන්නේ මගේම හුරුවට. පදම හරිද වැරදිද කියලා ඇහේ හුරුවට කියන්නත් පුළුවන්. ඒ වගේම රසකැවිලි හදන්නෙත් හාල් ගෙදරම සෝදලා, වේලලා, කොටලයි. මුංඇට වුණත් එහෙමයි. පැණි ගේන්නේ හලාවතින්. මේ සියලු ද්‍රව්‍ය හොඳ තත්ත්වයෙන් යෙදුවම රසකැවිල්ලේ රසයත් උපරිමයි.’’

අලුවා, පොල් ටොෆී, රුලං ටොෆී, පැණි වළලු, හැඳි කැවුම්, කොණ්ඩ කැවුම්, කළු දොදොල්, මුං කැවුම්, කොකිස් මෙන්ම නැවුම් එළකිරි යොදා හදන කිරි ටොෆී වර්ගයක්ද තිබේ. මේ සියල්ල අවුරුදු කැවිලි මේසය රසගැන්විය හැකි අපූර්ව රස එකතුවකි.

‘‘මේ හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න මුල ඉඳලම උදව් කරපු පිරිසක් ඉන්නවා. ඒ හැමදෙනාටම ස්තූතියි. ඒ වගේම දිනපතා ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතාත් විශේෂයි. අපේ නෑදෑයෝ, අසල්වැසියෝ ඒ හැමදෙනාටමත් ස්තූතියි.’’

නදී කියන්නීය.

අපේකම, ගමේකම සමඟින් අවුරුදු සිරියාව සිත්සේ විඳින්නට ඔවුන් ඔබට සුභාශිංසන ගෙනෙද්දී ‘ධරණී’ අපද ප්‍රාර්ථනා කරන්නේ සොම්නසින් පිරි සතුට සාමය රජවන සෞභාග්‍යමත් සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා යනුවෙනි.

දිපා වසන්ති එදිරිසිංහ

ඡායාරුප – සමන් අබේසිරිවර්ධන