විශේෂාංග

අක්කගේ ගස්වල කොළ නොකා අනිත් ඔක්කොම කොළ ජාති කන ගොලුබෙලි යාළුවා ‘බෙලී’

සිංගප්පූරුවේ චැංගි සිට හැමදාමත් පාරමී සේවයට ගියේ සලිටා එයාර් බේස් දිගේය. ඒ යද්දී එක් ගෙදරක් ඉදිරිපස පාරමී හැමදාමත් දකින දසුනක් තිබුණි. ඒ කේඩෑරි වී ගිය ලැබ්‍රඩෝ බලු පැටවෙක් සහ වයස්ගත චීන කාන්තාවක් කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් මග බලාසිටින දර්ශනයය. හිතා හෝ නොහිතා පාරමී එතැනින් යද්දී ඔවුන්ට අත වනාගෙන යන්නට පුරුදු වුණාය. තවත් ටික දවසක් යද්දී පාරමී අත වනනවිට බලූ ගේට්ටුව ළඟට දිව එන්නටත් පුරුදු වුණේය. එවන් අවස්ථාවක බලූ දෙස හොඳින් බලද්දී පාරමී දුටුවේ බලූගේ ඒ දෑසේ වූ දුක්මුසු බැල්මය. එසේම ඇඟේ තිබූ කුණු, තුවාල, හොරි, මෙන්ම කෘශ බවත් ඇය දුටුවාය. ඒ මොහොතේ ඇය එහි සිටි වයසක ආච්චිගෙන් බලූගේ තොරතුරු ඇසුවාය.

‘‘ඔස්ට්‍රේලියාවේ ඉපදුණු ඒ බව්වා ‘ටිමෝන්’. එයාගෙ දුවට උපන්දින තෑග්ග විදිහට තමයි ලැබිලා තියෙන්නේ. ඒ, දුව විවාහ වෙලා අයර්ලන්තෙට යද්දි මෙයාව ගෙදර දාලා ගිහින්. වයසක දෙමාපියන්ට එයා ගැන බලන්න හයි හත්තියක් තිබුණෙ නෑ. මට හිතුණා ඒ අසරණයව ඉල්ලන් එන්න. ඒත් එතකොට මම හිටියේ පුංචි කාමරයක. ඒකෙ ඉඩ තිබුණත් බව්වෙක් හදන්න අවසර නෑ. ඒත් අයිතිකරුගෙන් කෝකටත් කියලා ඇහුවා. කාමරේ ඇතුළේ තියන් හදන්න අවසර දුන්නා. මං ගිහින් ආච්චිගෙන් බව්වා ඉල්ලුවා. ‘අනේ අරන් යන්න මේ අසරණයා දුක් විඳිනවා’ කියලා දුන්නා. එයාට ආදරේ, කරුණාව ලැබිලා නැති නිසා හරිම නිහඬ චරිතයක් වෙලා හිටියෙ. ලොකුම ප්‍රශ්නෙ වුණේ එයාගෙ ඇඟේ හොරි තුවාල. ඒවා පැසවලා හරිම ගඳයි. ඒවටත් බෙහෙත් හොයාගෙන සේරම මගෙ අත් දෙකින්ම කළා. යාළුවො බැන්නා ජරාව ලෙඩ හදාගනින් කියලා. එදා ඉඳන් මගෙ පොඩි ඇඳ දෙකට බෙදුනා. මුලින්ම එයා ඇඳට එන්න බය වුණා. බිම නිදාගත්තේ. සති දෙක තුනක් යනකොට හරිම හුරතල් විදිහට ඇඳට නැගලා නිදාගන්න පුරුදු වුණා. ටික ටික බූල් වැවිලා හැන්ඩියා වුණා. එයා මට හම්බෙනකොට මාස අටයි.’’

එතැන් පටන් පාරමීගේ මුළු ලෝකයම වූයේ ටිමෝන් ය. ආදරේට පාරමී කිව්වේ ‘ටිම්ෂා’ කියාය. ඒ කාමරේ ටිමෝන්ට හිර ගෙයක් නොකළ පාරමී හැකි හැම මොහොතකම ටිමෝන්ව ඇවිදින්න, පීනන්න, සෙල්ලම් කරන්න කැටුව ගියේ රැකියාවත් කරන ගමන්ය. වසර පහක් ඒ සතුට ඇය වින්දාය.

‘‘එකපාරට කෑම කන එක අඩුකළා. පස්සෙ මම පශු වෛද්‍යවරයෙක් ළඟට අරන් ගියා. එතකොට තමා හොයාගත්තෙ බඩේ පිළිකාවක් කියලා. හිටපු තැනත් අමතකවෙලා මම කෑගහලා ඩොක්ටර්ට කිව්වෙ මගෙ අසරණයා බේරලා දෙන්න කියලා. ඒත් අවාසනාවට කරන්න දෙයක් ඉතුරුවෙලා තිබ්බෙ නෑ. ඒ තරමට ලෙඩේ පැතිරිලා. නියම කරපු හැම බේතක්ම දීලා ආදරෙන් බලාගත්තා. මාස 4ක් වගේ වෙනකොට එයාට අංශබාගෙ හැදුනා. දවස් ගණන් ටිමෝන් තියන් හොස්පිටල් එකේ උදේ හවා මමත් අඬ අඬා හිටියා. ලංකාවෙ වගේ නෙමේ මේ රටවල දරුණුවට අසනීප වුණාම බේත් විදිනවා සදාකලික නින්දකට. මටත් ඒ දේම නියමකරා. මගෙ අහිංසකයට එහෙම කරන්න බෑ කිව්වා. මම හිතාගත්තා මම එයාගෙ අවසන් හුස්මපොද යනකන් ආදරෙන් බලාගන්නවා කියලා. චූටි දරුවෙක් වගේ මම එයාව බලාගත්‍තා. අනේ එහෙම වෙලාවට මගෙ මූණ දිහා බලන් ඉන්න ඒ කඳුළු පිරුණු ඇස් මොනතරම් නම් මාව ඇඬෙව්වද? තව මාස හයක් යද්දී ටිමෝන් නිතරම වේදනාවෙන් කෑ ගහන්න ගත්තා. හුස්ම ගන්න අපහසුකමින් හිටියෙ. තුන්වැනි වතාවටත් වෛද්‍යවරයා නියම කළා සදාකාලික නින්ද. හිත හිත ඉන්න බැරි වුණා. ඒක රටේ නීතිය වුණා. මගෙ අසරණයා විඳවනවා මටත් බලන් ඉන්න බෑ ඒ වෙනකොට. ඒ මහ මූසල දවසෙ මගේ අත් දෙක උඩ එයා සදාතනික නින්දට ගියා. අනේ මං අඬපු තරමක්…’’

අදින් වසර පහකට පෙර පාරමී විඳි ඒ අත්දැකීම අදටත් ඇය හඬවන්නේය. නන්නාඳුනන රටක මියගිය සුරතලා වෙනුවෙන් ඈ දුක් වූවා සේම යළි කිසිදා සතෙක් නොහදන්නට එදා ඈ හදවතට ගිවිස ගත්තාය. පාරමී සත්සරණි විදානලාගේ සිංගප්පූරුවට යන්නට පෙර ජීවත්වූයේ කඩවතය. අම්මාත්, නංගිලා දෙදෙනාත්, අයියාත් සමඟ ලංකාවේ ඈ ජීවත් වූයේත් සතුන්ගේ ආදරය විඳිමින් සතුන්ට ආදරය කරමින්මය. අවුරුදු විසි එකක් වෙද්දී සිංගප්පූරුවට ගියත් එදා මෙදා තුර සිංගප්පූරුවේ ජීවත්වුණත් පාරමීගේ හිතේ ඇති සත්ව කරුණාව නැතිවූයේ නැත.

2018 වසරේ පාරමී ලංකාවට ගොස් පැමිණි දෙසැම්බරයක බිමින් තබා ගිය මල් පෝච්චි ටිකක් යළි බැල්කනියට ගනිමින් සිටියාය.

‘‘මං මාසයක් එකහමාරක් ලංකාවෙ ඉඳලා එන්න යන හැමවෙලාවකම මම ඒ වගේ මල්පෝච්චි එළියෙන් තියලා යනවා, වැහි වතුර හරි වැටෙන්න. ඒවයේ මල් වගේම මිරිස්, තක්කාලි වගේ එළවළු ජාතිත් හදලා තියෙනවා. ඒවා ආයෙ උඩට ගනිද්දි මං දැක්කා කඩල ඇටයක් තරම් පුංචි ගොළුබෙලි පැටියෙක්. එයා විසි කළොත් මැරෙයි කියලා හිතුණ හින්දා එහෙම්ම තියලා අම්මට විස්තරේ කියලා ඇහුවා ගොලුබෙල්ලො කන්නෙ මොනවද කියලා. අම්මා කිව්වා ඔය සතා මැරිලා යයි කැලේට දාන්න කියලා. ඒත් මං හිතුවා මට සතෙකුත් නැති එකේ ගොළුබෙල්ලෙක් හදනවා කියලා. එතකොට අම්මා කිව්වා පොල් කුඩු, නූඩ්ල්ස්, මල් ගෝවා වගේ අමු කොළ ජාති එහෙම එයාට කන්න දීලා හදාගන්න කියලා. ඉතින් මං එයාව එහෙම හැදුවා. නමක් දුන්නා ‘බෙලී’ කියලා. මගේ මල් පෝච්චිවල හිටියට එක ගහක කොළයක් කන්නෙ නෑ. එයා මාව හුඟක් හොඳට අඳුරනවා. මං අල්ලද්දි, අතට ගන්නකොට කටුව ඇතුළට යන්නෙ නෑ. මං එයාව අතේ තියාගෙනත් ඉන්නවා.’’

බෙලීට දැන් වයස අවුරුදු හතරකි. ඒ අවුරුදු හතරට බෙලීගෙන්ම ගොලුබෙල්ලන් ගැන බොහෝ දේ ඇය උගත්තාය.

‘‘එයා අවුරුද්දකට දෙතුන් පාරක් පස් අස්සෙ මාසයක් විතර හැංගිලා ඉන්නවා. එතකොට කන්නෙ බොන්නෙත් නෑ. ඒක දන්නෙ නැතුව මුලින්ම බෙලී එහෙම කරපු වෙලාවෙ නම් මං හොඳටම බය වුණා. දැන් මං ඒක දන්නවා. ඉස්සර බෙලීගෙ කටුව ලස්සනයි. දැන් ෂයින් එක අඩුවෙලා. මං ගොලුබෙල්ලෙක් හදනවා කියලා ලංකාවෙ සත්තු පේජ්වලට දැම්මම සමහරු ඒක ආදරෙන් පිළිගත්තා. බෙලීව කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනව නම් මට ‘බෙලි අක්කා’ කියලා නමකුත් වැටුණා. ඒ අතරෙ මට බැනපු රිපෝට් ගහපු අයත් හිටියා. සතෙක් කන හැටි බලා ඉඳලා, ලොකු වෙන හැටි දැකලා, ජීවත් වෙන දිහා බලලා සතුටු වෙන්න කෙනෙක්ට පුළුවන් නම් ඒක තමා හැබෑ ආදරේ. මේ වගේ සතෙක් දැක්ක ගමන් තලලා මරලා දාන්න එපා…’’

පාරමී කියන්නේ සිතිවිලි ලස්සන කෙනෙකුට හැම සතෙකුටම එක වගේ ආදරේ කරන්නට හැකි බවයි. ඒ නිසාම බෙලී හදනා අතරේ ඇය අනාථ නිවසකින් ගත් කළුම කළු පූසන් දෙදෙනෙකු වූ ‘තෝඩි’ සහ ‘බූච්චි’ ද ආදරයෙන් හදන්නීය.

බියංකා නානායක්කාර