කටු ගහලා ඒ කටුවලින් එල්ලද්දී මං කොච්චර ශක්තිමත් කෙල්ලෙක්ද කියලා හිතුණා
පසුගිය ඔක්තෝබර් 23 වැනි ඉරිදා ඉර බහින හෝරාවේ වෙනස්ම කටයුත්තක් වෙනුවෙන් මට ගාල්ල, අහංගම ප්‍රදේශයට යන්නට සිදුවිය. මා එහි යනවිටත් දේශීය තරුණ තරුණියන්ගෙන් පමණක් නොව විදේශිකයින්ගෙන්ද එම ස්ථානය පිරී ඉතිරී තිබුණි. එම අවස්ථාව ගැන කිසිඳු අවබෝධයක් නොතිබූ නිසාදෝ එක්වරම මට දැනුණේ මා වට කීපයක් කරකවා එහි තබා ඇති සෙයකි. මන්ද මා හැරුණුකොට එතැන සිටි සියල්ලන්ම සිටියේ අමුතුම හැඩයකිනි. ඒ අතරින් ගැහැනුද පිරිමිද කියා වෙනසක් නැතිව බොහෝදෙනෙකුගේ ඇඟේ ටැටූ ඇඳ තිබීම නිසා මොකක් නමුත් එය ටැටූ හා සම්බන්ධ වැඩසටහනක් බව නම් මට පැහැදිලි විය.
ඒ අතරවාරයේ එක්වරම එතැන උන් තරුණියක් දෙසට කාගේත් අවධානය යොමුවිය. ඇයගේ ශරීරයේද අලංකාර ටැටූ කීපයක් තිබුණි. මොකක් නමුත් ඇය අමුතුම අඩව්වකට සැරසෙන බව නම් ඒ වනවිට මට පමණක් නොව එතැන උන් සියල්ලන්ටම වැටහී තිබුණි. අලේ බහිනකල් හිටියත් තැම්බෙනකල් ඉන්න බෑ කිව්වාක් මෙන් ඊළඟ මොහොතේ ඇය කරන්නට යන්නේ කුමක්දැයි දැකගන්නා තෙක් මගේ හිතද කුතුහලයෙනි.
සුළු මොහොතකින් රැස්ව සිටි පිරිස මැදට පැමිණි හැඩකාර තරුණිය බිම ඉඳගත්තාය. අනතුරුව පිරිමින් කීපදෙනෙකු පැමිණ ඇගේ නිරාවරණය වී තිබූ කොන්ද ප්‍රදේශයේ කටු ගැසූහ. මට එක්වරම සිහිවූයේ ඇසළ මහට පවත්වන කතරගම පෙරහරයි. මන්ද මීටපෙර ඇඟේ උල් කටු ගැසූ මිනිසුන් මා ඇස්දෙකට දැක තිබුණු එකම තැන එතැනය. එහෙත් එවැනි තැනකදීවත් ඇඟේ කටු ගැසූ ගැහැනුන් මා දැක තිබුණේ නැත. ඒ නිසාම මෙකී තරුණිය ගැන වූ උනන්දුව මට තවත් වැඩිවිය. ගතවූයේ සුළු මොහොතකි. එක්වරම ගැසූ කටුවලින් ඇය සෙමෙන් සෙමෙන් ඉහළට එසවෙන්නට විය. දැන් ඇය මට වඩා අඩි ගණනක් උඩින් ඉහළ අහසේ කොන්දට ගසා තිබූ කටු ආධාරයෙන් ඔසවා තිබේ. ඇත්තම කිව්වොත් ඉහළ ගිය ඇයට වඩා රිදුනේ පහල උන් මටය. නමුත් තරුණියට නම් ගාණක්වත් තිබුණේ නැත. මා එහෙම කියන්නේ එල්ලෙමින් සිටියදීම ඇය ඉදිරිපත් කළ සරාගී නර්ථනය නිසාය.
“මේකි නම් යක්ෂ කෙල්ලෙක්.”
ඒ එතැන උන් බොහෝදෙනෙක් ඇගේ හැකියාව ගැන නොයෙකුත් කතා කියද්දී මට සිතුණු හැටිය. තවත් විනාඩි කිහිපයක් ගතවෙද්දී ශරීරය පුරා කටු ගසා එල්ලා සිටි තරුණිය බිමට පහත් කරන්නට විය. ඒ මොහොතේ නම් ඇය සමඟින් වචනයක් හෝ කතා කර යන්නටයි මට හිතුණේ.
“ගංඟාවන් හරහා මුහුදට ගසාගෙන යන ප්ලාස්ටික් හා කැලිකසල මුහුදට යාම වැළැක්වීම තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. ඉතින් වෙරළ ආශ්‍රිත පරිසරය රැකගනිමු කියන තේමාව උඩ තමයි වෙරළ සුද්ධපවිත්‍ර කිරීමේ මේ වැඩසටහන පැවැත්වුණේ. ඒ වෙනුවෙන් ලංකාවට ආපු විදෙස් ටැටූ ශිල්පීන් සතුටු කරන්න තමයි ඔය ගෑනු ළමයා මෙහෙම ඉදිරිපත් කිරීමක් කළේ.”
ඒ එතැන උන් තරුණයෙක් එම සිද්ධිය ගැන මා සමඟ කළ කෙටි පැහැදිලි කිරීමය. නමුත් ඒ අතරවාරයේ පවා මගේ ඇස් තිබුණේ කටු ගැසූ තරුණිය වෙතය. මට උවමනාව තිබුණේ ඇය ලවාම මගේ ප්‍රශ්නවලට උත්තර අරගැනීමටයි.
“කිව්වත් වගේ මේ වැඩසටහන වෙනුවෙන් ලංකාවට ආපු ජාත්‍යන්තර ටැටූ ශිල්පීන්ගේ ආශ්වාදය වෙනුවෙන් තමයි මං මේ වැඩේ කළේ. ඒ වෙනුවෙන් මට කතා කළේ ලංකාවේ ප්‍රවීණ වගේම ප්‍රසිද්ධ ටැටූ ශිල්පියෙක් වෙන සජී සර්. එයා කිව්වා ජාත්‍යන්තර ටැටූ ශිල්පීන් සතුටු කරන්න පුළුවන් විදියේ Body Suspension Event කීපයක් සූදානම් කළා එන්න කියලා. සජී සර් කියන්නේ මගේ සැමියගේ යාළුවෙක්. ඉතින් එයාලගේ යාළුකම එක්ක මට බෑ කියන්න බැරිවුණා.”
ඇය කොළඹ, මෝදර ප්‍රදේශයේ තරුණියක වන පියුමි සෙව්වන්දි නානායක්කාර ය.
“මං කෝවිල් සහ දේවාල මංගල්‍යයවල වගේම පෙරහර මංගල්‍යයවල එහෙම කටු ගහනවා දැකලා තියෙනවා. ඒ නිසා මුලින් කැමති වුණත් පස්සේ බයටම මං සැමියට කිව්වා මට මේ වැඩේ කරන්න බෑ කියලා. ඒත් එයා කිව්වා නෑ ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් කරන්න කියලා. කොහොම හරි මං හිත ශක්තිමත් කරගෙන හිටියා. මට බය තිබුණේ කටු ගහන එකට නෙවෙයි කටු ගහලා උඩට උස්සන එකට. මොකද මගේ ඇඟේ ටැටූ කීපයක් ගහල තියෙන හින්දා කටු ගහනවට ලොකු බයක් හිතුණේ නෑ. මට හිතුණේ ටැටූ ගහද්දි අර ඉඳිකටුවෙන් එන වේදනාව වගේ පොඩි වේදනාවක් දැනෙයි කියලා. ඒත් ඉහළට උස්සන එක මතක් වෙනකොට පුදුම බයක් දැනුණා.”
අවසානයේ ඇය බය පසෙක තබා කටු ගැසීම වෙනුවෙන් හිත ගලක් මෙන් හයිය කරගෙන තිබුණි.
“කටු ගහද්දි නම් ඇත්තටම ටිකක් රිදුණා. ඒත් ඉහළට උස්සද්දි එහෙම වේදනාවක් දැනුණේ නෑ. මට ආවේ මං අහසේ පාවෙනවා වගේ හැඟීමක්. ඉතින් ආස හිතුණා. මුලදි තිබුණු බයත් නැත්තටම නැතිවෙලා ගියා. ඊටපස්සේ පොඩි නැටුමකුත් නටලමයි පහළට ආවේ.”
මා දන්නා පරිදි මෙකී කටුගැසීමට හෙවත් කටු පූජාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. එසේම එය දේව සංකල්පයන් හා බැඳී පවතින විශ්වාසයකි. එම විශ්වාසය වන්නේ දෙවියන් ඉදිරියේ කටු ගැසීමෙන් සිරුරේ ඇති සියලු වස්දොස් දුරු වී ජීවිතයට සතුට උදාවෙන බවයි. තව දෙයකි. එනම් කිසිවෙකුට හෝ හිතුමතේ ශරීරයට කටු ගැසීමක් කළ නොහැකිය. ඊට යම් පිළිවෙතක් තිබේ. ඒ අනුව කටු ගැසීමට නියමිත අයෙක් කිලිවලට අසුනොවී දින ගණනක් පේවී ඊට සූදානම් විය යුතුය. මගෙන් ඇයට ලැබුණු ඊළඟ ප්‍රශ්නය වූයේ ඒකය.
“ආගමික උත්සවවලදි කටුගහලා එල්ලන එකයි මං මෙතැනදි කටුවලින් එල්ලුණු එකයි දෙකක්. මං දන්න තරමින් ආගමික උත්සවවල කටුගහලා එල්ලෙන්නේ බාරහාර ඔප්පු කරන්න. ඒත් මං මෙතැනදි කළේ ටැටූ කලාව ඇතුළේ තියෙන ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය ප්‍රසිද්ධ Event එකක්. ඒක Body Suspension Event එකක් කියලයි කියන්නේ. ලංකාවට මේක තවමත් අලුත් අත්දැකීමක්. දන්න තරමින් මට කලින් අපේ රටේ කිසිම ගෑනු ළමයෙක් මේ Event එක කරලා නෑ.”
*එතකොට ඔයා කටු ගහන්න කලින් කිසිම පේවීමක් කළේ නැද්ද?
“මං කිසිම පේවීමක් කළේ නෑ. මොකද මං කළේ Body Suspension Event එකක් මිසක් ආගමික දෙයක් නෙවෙයිනේ. ඒත් මං කිසිම පේවීමක් නැතිව ආගමික උත්සවයකදි වගේම කටුවලින් එල්ලුණු නිසා මිනිස්සු එක එක කතා කියලා තිබුණා. හැබැයි කියන්න ඕන මං මෙතැනදි කළේ කිසිම සංස්කෘතියකට අභියෝග කිරීමක් නෙවෙයි. මේ Event එක කරපු එකේ එකම අරමුණ වුණේ අපේ රටට ආපු ජාත්‍යන්තර ටැටූ ශිල්පීන්ට ආශ්වාදයක් දෙන්න සහ අපේ රටේ සංචාරක කර්මාන්තයට හොඳ ඉඩක් තියෙනවා කියලා පෙන්නන්න. හැබැයි ඒ හරහා ලංකාවේ මෙච්චර දක්ෂ කෙල්ලොත් ඉන්නවා කියලා එයාලා දැනගත්තා සහ මං කොච්චර ශක්තිමත් කෙල්ලෙක්ද කියලත් මං තේරුම්ගත්තා.”
පියුමි එසේ කියා සිනාසෙද්දී මට නිකමට මෙන් ඇගේ පෞද්ගලික තොරතුරක් දෙකක් දැනගන්නට සිතුනි.
“පුංචි කාලේ ඉඳන්ම මට තිබුණේ ගුරුවරියක් හරි හෙදියක් හරි වෙන්න ආසාවක්. අවසානේ මට පුළුවන් වුණා හෙදියක් වෙන්න. හැබැයි ඒ වෘත්තියේ මං හිටියේ කෙටි කාලයයි. මොකද හෙද වෘත්තිය හරිම කාර්යබහුල වෘත්තියක්. වගකීම් වැඩියි. මං ටිකක් නිදහසේ ඉන්න ආස කෙනෙක්. ඒ ගැන හිතලා පස්සේ කාලේ මං හෙද වෘත්තියට සමුදුන්නා.”
මේ වනවිටත් සමාජ මාධ්‍යවලනම් පියුමි හරි ප්‍රසිද්ධය. කොතරම් ප්‍රසිද්ධද කිව්වොත් වෙනදාට හොයන පියුමිලා වෙනුවට අද කවුරුත් හොයන්නේ කටු ගැසූ පියුමිය. ඉතින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුළ එවැනි අභියෝගයක් භාරගත් ඇගේ ඉදිරි ගමනට සුබපැතුම් එක් කරමින්ම මා ඈ හා කතාබහ නිමා කළෙමි.
රුවන් එස්.සෙනවිරත්න