ලයිසන් නැතුව බයික් පැද්ද නෝනා කෙනෙකුට පොලිසියේ මහත්තුරු අනුකම්පා කරලා
නිකිණි මාසය ගෙවී යාමට ආසන්නය. හැමදාම මෙන් රජරට ගිනියම්ය. ගම්මානවල කුඩා වැව් සියල්ල සිඳී ගොසිනි. බීමට දිය පොදක් සොයා අහිංසක ගැමියන් මෙන්ම සතාසීපාවා ද අනේක වූ දුක් විඳිති. ඒ අතර වෙනදා වකුගඩු රෝගයෙන් අපා දුක්විඳ මියැදෙන්නවුන් වෙනුවට දැන් කොවිඩ් මාරයා මෙලොව එළිය නුදුටු උන්ද මරු තුරුලට යවමින් සිටී. තත්ත්වය එසේ වෙද්දී දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට කිසිවකුටත් මහමඟ ගමන් බිමන් තහනම්ය. දුම්රිය ඇතුළු සියළුම පොදු ප්‍රවාහන සේවා ද නැත.
අගෝස්තු 25 හෝ ඒ ආසන්න දිනයක උදෑසන 8.15 ට පමණ හොරොව්පොතාන නගරය මධ්‍යයේ තිබූ පොලිස් මුරපොළ දෙසට තරමක් විශාල යතුරුපැදියක් එන ආකාරය එහි සිටි නිලධාරීහු දුරතියාම දුටුවෝය. යතුරුපැදිය ඒ මේ අත වැනෙමින් පැමිණෙන නිසා පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් වූහ. ගමන් විලාශය අනුව පදවන්නා බීමත් යතුරුපැදිකරුවකු හෝ ආධුනිකයකු යැයි අනුමාණ කළ නිලධාරීහු මුරපොළට ආසන්න වෙත්ම නතර කරන ලෙසට සංඥා කළහ. මේ යතුරුපැදිකරු කාන්තාවක් බව පොලිස් නිලධාරීන් දැනගන්නේ එවිටය. ආරක්ෂක හිස්වැස්මක් හා මනා ලෙස මුහුණු ආවරණයක් ද දමා සිටි ඇය සාත්තු සේවිකාවකගේ නිල ඇඳුමකින් සැරසී සිටියාය.
“කොහෙද යන්නේ? දැන් ඇඳිරි නීතිය..”
ඇය මුදල් පසුම්බියේ වූ රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කළාය. රාජකාරි හැඳුනුම්පත පරීක්ෂා කළ පොලිස් නිලධාරියා,
“හොඳයි මිස්… හැබැයි අද අනුරාධපුරේ යන්ඩ නං මෙහෙං බස් නෑ. මොකද මෙච්චර ලොකු බයික් එකක්? හැමදාම මේකෙද යන්නේ?”
“නෑ… වෙනද බස් එකේ යන්නෙ. අද බස් නෑනෙ. ගෙදර තියෙන්නේ මේ බයිසිකලේ විතරයි.”
ඇය යටහත් පහත්ව පැවසීය.
“හොඳයි… පරිස්සමට යන්න.”
එසේ පැවසූ පොලිස් නිලධාරීහු ඇය ඒ මේ අත වැනෙමින් ගමන්කරන අයුරු බලා සිටියෝය.
බැරිමරගාතේ තමාට වඩා විශාල යතුරුපැදියක් පදවාගෙන ගිය මේ කාන්තාවගේ නම නාලිකා ය.
පෞද්ගලික සාත්තු සේවා ආයතනයක සාත්තු සේවිකාවක වන ඇය රාජකාරිය සිය දිවි දෙවෙනිකොට සැලකුවාය. හොරොව්පොතාන නගරයේ සිට කිලෝමීටර් 35 ක් පමණ දුරින් පිහිටි පිටිසර ගමක පදිංචි ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි. සැමියා ගමේ පාරම්පරික ගොවියෙකි. එක් කන්නයක් පමණක් වගා කරන කුඩා කුඹුරු කෑල්ලෙන් හා හේනෙන් ලැබෙන සුළු ආදායමෙන් ද නාලිකාට ලැබෙන සොච්චම් වැටුපෙන් ද ඔවුන් දිවි ගැටගසා ගනියි. මෝඩ ගඩොලින් බැඳ අඩක් නිමකර ඇති නිවස කපරාරු කර නැත. නාලිකාගේත් සැමියාගේත් එකඟතාවය මත ඔවුන් තරමක් විශාල යතුරුපැදියක් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගනු ලැබුවේ අනෙකක් නිසා නොව දරු තිදෙනාත් සමඟ ඔවුන් දෙදෙනාටද ගමන් බිමන් යාමේ පහසුව සලකා ගෙනය.
කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටී ඇති ආර්ථිකය යම්තමින් හෝ පවත්වාගෙන යාම සඳහාත්, සීමිත සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදවිය යුතු බවට පළවී ඇති අණපනත් නිසාත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවලද සේවා සඳහා ගෙන්වා ගනු ලැබුවේ සීමිත සේවක සංඛ්‍යාවකි. නාලිකා සේවය කළ ආයතනයද අනුගමනය කළේ එම ක්‍රියාමාර්ගයමය. එම ආයතනයේ නව සේවා මුර ලේඛනය අනුව නාලිකා සතියකට දින 4 ක් සේවයට වාර්තා කළ යුතු විය. ඉන් වැඩි දින ගණනක සේවය නිම වූයේ පස්වරු 6.00 ටය. වෙනදා සේවා මුරය අවසන් වූයේ පස්වරු 5.00 ට නිසාත් බස් ගමනාගමනය සිදුවූ නිසාත් ඇයට අනුරාධපුරයේ සිට හොරොව්පොතානට රාත්‍රී 7.00 පමණ වනවිට පැමිණිමට හැකිවිය. එතැන් සිට තවත් කිලෝමීටර 30 ක් පමණ දුර ගෙවා වන අලි ගහන කැලෑව මැදින් සැමියා සමඟ යතුරුපැදියෙන් නිවසට යාම ඇගේ දින චරියාව විය. එහෙත් නව සේවා මුරය නිසා වැඩ නිමවී හොරොව්පොතානට පැමිණීමේදී රාත්‍රී 8.00 පසුවන බවත්, එසේ පැමිණිමට කිසිඳු පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොවන බවත් ඇය ආයතන ප්‍රධානියාට පැවසුවද ඔහු එකහෙලාම පැවසුවේ මේ මොහොතේ සෑම සේවකයෙක්ම ආයතනය වෙනුවෙන් කිසියම් කැපකිරීමක් කළ යුතු බවයි. එසේ කිරීමට අකැමති අය වෙතොත් සේවයෙන් ඉවත්ව යෑම සුදුසු බවත් ඔහු කීවේය. සැමියා සමඟ ද සාකච්ඡා කළ නාලිකා දැඩි තීන්දුවක් ගත්තාය. එනම් තමන්ට ඇති එකම වාහනය වූ යතුරුපැදියෙන් සේවා ස්ථානයට යාමටයි. ඊට ඔහුගේ එතරම් කැමැත්තක් නැතත් වෙන විකල්පයක් නොවූ තැන ඔහු කරබාගෙන සිටියේය. කුඩා දරුවන් තිදෙනා තනිකර නාලිකාගේ තනියට යාමටද හැකියාවක් ඔහුට නොවීය. කෙසේ හෝ නාලිකාගේ ගමනේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 85 කි. එයිනුත් කිලෝමීටර් 30ක් වන අලි තර්ජන සහිත පටු කැලෑ පාරකි. මෙසේ එක්සිත් දරාගෙන ගමන් පිටත් වුවත් විශාල යතුරුපැදියක් කිසිදින පදවා නැති ඇයට එය තරමක් නුහුරු විය.
රන්පත්විල, සීප්පුකුලම, මහකනදරාව වැව, මිහින්තලේ පසුවී අනුරාධපුර නගරයට ආසන්න මාතලේ හන්දිය පොලිස් මුලපොළේදී නාලිකා පැදවූ යතුරුපැදිය නවත්වන ලෙසට නැවතත් සංඥා කෙරිණ. නාලිකා මාර්ගය අයිනේ යතුරුපැදිය නවත්වා ඉන් බැස්සාය.
“ලයිසන් ඉන්ෂූරන්ස් අරගෙන එන්න…”
පොලිස් නිලධාරියා එක් අතක් දිගුකරමින් පැවසුවේය. නාලිකා සෙමෙන් සෙමෙන් පොලිස් නිලධාරියා අසලට ආවාය.
“බයික් එකේ ලයිසන් ඉන්ෂූරන්ස් දෙන්ඩ බලන්ඩ…”
නාලිකා නිහඬය. ඇය අසරණ ලෙසින් පොලිස් නිලධාරියා දෙස බැලුවාය.
“හරි… ඔයාගේ ඩ්‍රයිවින් ලයිසන් එක දෙන්ඩ…”
පොලිස් නිලධාරියා අත දිගු කළේය. ඊට ද කිසිත් නොකියූ නාලිකා බිම බලාගත්තාය.
“ඒකත් නෑ නේද…? අපට හිතුන ඔයා බයික් එක පැදගෙන එන හැටියෙන්ම. ඒකයි නැවැත්තුවේ. මේ බයික් එක මේ විදියට පාරට දාන්ඩ බෑනේ. බලන්ඩ වැරදි කීයක් ද?”
පොලිස් නිලධාරියා නාලිකා දෙස බලාගෙනම පැවසුවේය.
“සාජන් මහත්තයා මොකෝ?”
මඳක් එහායින් සිටි පොලිස් මුරපොළේ ප්‍රධානියා ඇසීය.
“සර්… බයික් එකේ ඩොකියුමන්ට් මොනවත් නෑ… නෝනට ලයිසනුත් නෑ.”
පොලිස් නිලධාරියා උස් හඬින් කීවේය.
“එහෙමද… එහෙනං උසාවි දාන්ඩ…”
මුරපොළේ ප්‍රධානියා තීන්දුව දුන්නේය.
“අනේ සර්… එහෙම කරන්ඩ එපා. රස්සාව බේරගන්ඩ ඕන හින්ද මෙහෙම ආවේ…”
නාලිකා ඇඬුම් ස්වරයෙන් කීවාය.
“මං දන්නෙ නෑ… ලොකු සර්ට කියන්ඩකෝ. යන්ඩ. විස්තරේ කියන්ඩ…”
පොලිස් නිලධාරියා තරමක් නිවුණු ස්වරයකින් කීවේය.
ගාට ගාට පොලිස් මුරපොළේ ප්‍රධානියා වෙත ගිය නාලිකා සත්‍ය කතාවම අකුරක් නෑර පොලිස් ප්‍රධානියාට කීවාය. සියලුම දේ සාවධානව අසා සිටි පොලිස් ප්‍රධානියා,
“මට තේරෙනවා… මේ කාලේ හැටියට සෞඛ්‍ය අංශවල අය කරන්නේ ලොකු සේවයක්. අපි ඒකට ගරු කරනවා. හැබැයි ඒ වුණාට මේ විදියේ නීතිවිරෝධී දේවල්වලට ඉඩ දෙන්ඩ බෑ. මේ බයික් එක අපි චෙක් පොයින්ට් එකේ තියාගන්නවා. මහත්තයට කෝල් එකක් දෙන්ඩ මෙතෙන්ට එන්ඩ කියලා. හරිද. ඔයාගේ ආයතනේ ප්‍රධානියා මගේ මිත්‍රයෙක්. මං එයාට කියන්නං ඔයාගේ සේවා මුරේ ටිකක් එහාට මෙහාට කරල සහනයක් දෙන්ඩ කියලා. දැන් ඔය පොලිස් ජිප් එකේම ගිහිල්ල ටවුමෙන් බහින්ඩ. යන්ඩ. කොච්චර නැතිබැරිකං, අගහිඟකං තිබුණත් නීතියට පිටින් යන්ඩ එපා. ඇත්ත කියපු හින්ද අපි සහනයක් දුන්නේ.දැන් යන්ඩ…”
මේවන් අසීරු මොහොතක එවන් තේරුම්ගැනීමක් සහ හෘදයංගම බවක් පොලිස් නිලධාරියෙකු වෙතින් පලවීම ගැන අපේ ප්‍රශංසාව හිමිවිය යුතුය. ඔහුගේ උපදේශය නිවැරදිය. තත්ත්වය කොතරම් බරපතළ වුවත් අපිට නීති කඩන්නට බැරිය. ඒ නිසා මේ මොහොතේ තම සේවකයන් සම්බන්ධව සියලු ආයතන ප්‍රධානීන් වෙනදාටත් වඩා හිතන්නේනම් හොඳය.
කේ.එම්.එස්.කරුණාරත්න – අනුරාධපුර (සංචාරක)