විශේෂාංග

අපේ ගෙවත්තේ එළවලු වවන්නේ කෑමට නෙවෙයි

අපි ගෙවත්තෙන් ගන්න පලදාව කෑමට ගන්නේ නැහැ. ඒවා බීජ වෙනුවෙන්ම වෙන් කරලයි තියෙන්නේ.

තම ගෙවත්තේ පලදාව, තවත් ගෙවත්තක සිනා මලක් වෙනුවෙන් වෙන් කරන්නට කැපවෙන පිරිස් අතරේ ගාල්ල වංචාවල, බඩරගොඩ පදිංචි ප්‍රියන්ත කුමාර මහතා විශේෂය.

හරියටම කිවහොත්, මීට අවුරුදු දෙකකට පමණ පෙර උදාවුණේ වගාවට ලැදි පිරිස් වැඩි වැඩියෙන් කළඑළි බහින්නට වූ සමයයි. කොරෝනා කාලයේ ආහාර හිඟයක් ගැන සැවොම කතා කරන්නට පටන්ගැනීමත් සමඟ බොහෝදෙනා වගාවට යොමුවිය. ඒ කාලයේ එළියට පහලියට බහින එකටත් තහංචි වැටී තිබූ නිසා ගෙවතු වගාවට වැඩි ඉඩක් වෙන් කරන්නට බොහෝ දෙනෙකුට කාලය තිබිණි.

ඒ කාලේ තමයි අපිත් වගාවක් කරන්න හිතුවේ. මහත්තයයි, මමයි, දරුවෝ දෙන්නයි, තාත්තා, අම්මා මේ හැමෝම එකතුවෙලා තමයි වගාව ආරම්භ කළේ. ගේත් එක්ක අපේ මුළු ඉඩම පර්චස් දොළහක් වගේ තියෙනවා. ඒ තියෙන ඉඩේ බණ්ඩක්කා, මෑ, වම්බටු, රතුපෙති දඹල ඇතුළු දඹල වර්ග, නියං වැටකොළු, මිරිස් වර්ග, කොච්චි වගේ දේවල් හිටෙව්වා. මේ ලැබෙන අස්වැන්න ගෙදර පරිභෝජනය වෙනුවෙන් වෙන් නොකර ගෙවතු වගාවයි ඔබයි සමූහයේ බීජ අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරමු කියලා මීට අවුරුද්දකට කලින් මහත්තයා කියද්දි මමත් ඒකට කැමති වුණා. ඉතින් එදා ඉන් අද දක්වාම ඒ කටයුතු කරගෙන යනවා. අපිට උයන්න අවශ්‍ය එළවලු ගන්නේ ගෙදර කොරටුවෙන්. ඒ කොරටුව ඉස්සර ඉන්ම කරන්නේ මහත්තයගේ තාත්තා. මහත්තයත් ඒ වැඩවලට උදව් කරනවා.

ඒ ‘ගෙවතු වගාවයි ඔබයි’ සමූහයේ ප්‍රධාන සම්බන්ධීකාරක, ප්‍රියන්ත කුමාර මහතාගේ ආදරණීය බිරිඳ ඉෂාරා දිල්රුක්ෂි විජේනායකයි. දහතුන් හැවිරිදි දහරා සනුති දියණියත්, වයස අවුරුදු තුනහමාරක් වන යුවෙන් රිත්මික පුංචි පුතණුවනුත් දැනටම වගා කටයුතුවලට සහයෝගය දෙන්නේ, ඒ පුංචි හිත්වලටද වගාවේ වටිනාකම් තේරුම් ගියාක් මෙනි.

අපි දෙන්නා වගාවට සාත්තු කරද්දි දරුවෝ දෙන්නත්, අපි එක්ක ඒ වැඩවලට උදව් වෙනවා. වගා මලුවලට පස් පුරවන එක, වතුර දාන එක අක්කයි මල්ලියි තරඟෙට වගේ කරන්නේ. ඉතින් ගෙවත්තක හිටවන්න පතෝල, දඹල, බණ්ඩක්කා වගේ ගුණ ආහාර ගැන අපි එයාලටත් කියලා දෙනවා.

අපේ ගෙට පහලින් තියෙන්නේ වෙල්යායක්. ඒ වෙල්යාය ආසන්නයේ තමයි ගෙදර කොරටුව තියෙන්නේ. ඒ කොරටුවේ මුකුණුවැන්න, ගොටුකොළ, නිවිති, සාරණ වගේ කොළ වර්ග වගා කරලා තියෙනවා. කෑමට ගන්න අනිත් එළවලු වර්ග බොහොමයකුත් මේ කොරටුවේ තියෙනවා. ගෙදර කෑමට අරන් කොරටුවෙන් ගන්න එළවලු කඩේටත් දානවා. අපි වගාවට දාන්නේ කාබනික පොහොර විතරයි.

එම පොහොර වර්ග ඔවුන් තනාගන්නේ ගිනිසීරියා කොළ, ගොම හා පල්වෙන්නට දැමීමෙනි. පාසල් කාලයේ ගෙවතු වගාවට හිත නොගියද උපන්ගම වන දෙණියායේදී වගාවේ ලස්සන දසුන් ඈ නෙත ගැටී තිබිණි.

තේ තමයි දෙණියායේ නම් වැඩිපුරම තියෙන්නේ. ඒත් අපිට වී ගොවිතැන් තිබුණා. එළවලු, පලතුරු වගා කරන අත්දැකීමනම් ලැබුණේ විවාහ වෙලා ගාල්ලේ පදිංචියට ආවට පස්සෙයි. ඒ අත්දැකීම හිතට පුදුමාකාර සහනයක් ගෙනෙන කාරණයක්. උදේ නැගිට්ටම, එළවලු පාත්තියක මලක් පිපිලා තිබුණම දැනෙන සතුට දවසම අපිව සතුටින් තියනවා. ඒ වගේම හදිස්සියේ ඔය කැරට්, බීට් වගේ එළවලුවක් තමයි අපි කඩෙන් ගන්නේ. මේ හැමදේම මැද්දේ මහත්තයා එයාගේ ෆේස්බුක් සමූහය හරහා ගෙවතු වගාවට උනන්දු අය වෙනුවෙන් කරන කැපවීම මම දවස තිස්සේ දකිනවා.

ඇය එසේ කියද්දී එදා එම සමූහය ගෙවතු වගාවට හිතැති දෙතුන් දෙනෙකු සමඟ එක්ව ආරම්භ කළ අයුරු ඔහු සිහිපත් කළේ මෙලෙසිනි.

සමාජ මාධ්‍ය භාවිතා කරලා හො දෙයක් කරන්න ඕන කියලා මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි මගේ හිතට ආවේ. ඔය කාලේ අහඹු විදියට දවසක් මම දැක්කා බීජ වර්ග මුදලට ලබාදෙනවා කියලා තිබුණු පෝස්ට් එකක්. මට හිතුණා මුදල් අය නොකර, නොමිලේ බීජ වර්ග ලබාදෙන්න පුළුවන්නම් හොයි නේද කියලා. ඒ අරමුණින් 2020 ජූලි මාසේ පටන්ගත්තු ෆේස්බුක් ගෘප් එක තමයි ගෙවතු වගාවයි ඔබයි කියන්නේ. ඇත්තටම මේ සමූහය ආරම්භ කරද්දි ගෙවතු වගාව ගැන ලොකු දැනුමක් මට තිබුණේ නැහැ. හැබැයි ගෙවතු වගාව කරන්න හිතෙන කෙනෙකුට පලදායී විදියට උදව් කරන්න ඕනෑ කියන හැීම මගේ හිතේ තිබුණා. ඒ නිසාමදෝ සමූහය වටා සෑහෙන පිරිසක් එක්වෙන්න ගත්තා.

ඒ වගේම පහුගිය කොරෝනා කාලේ ගොඩක් අය තමන්ගේ ළම ඉන්න කෙනෙක් අල්ලන දෙයක්වත් අල්ලන්න බයවුණා. ඒත් ඒ අවධානමත් අරගෙන අපි මේ සමූහය හරහා රට පුරාම නොමිලේ බීජ බෙදන්න කටයුතු කළා. ඒ කාලේ ගොඩදෙනෙක් ගෙදරට ඇවිල්ලත් බීජ අරන් ගියා. එතකොට මිනිස්සු මට කිව්වා මේ තරම් ලොකු ලෙඩක් පැතිරෙද්දි ඔය බීජ බෙදිල්ල නතර කරන්න කියලා. හැබැයි මට හිතුණේ ඒකේ අනෙක් පැත්ත. මේ වෙලාවේ තමයි මිනිස්සුන්ට උදව්වක් කරන්න ඕන කියලා මගේ හිත කිව්වා. සමූහයට සාමාජිකයෝ පනස්දාහක් වෙනකල් එයාලට අවශ්‍ය බීජ ලබාදෙන්න මට පුළුවන් වුණා.

ඒ තනිවම නොව ඔහුගේ ආදරණීය බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ සහායෙනි. ඇතැම් දිනවල ඔවුන් නින්දට ගියේ මධ්‍යම රාත්‍රියද පසුවීය. භෝග වර්ග සිටවද්දිත් ඉන් පසුවත් මතුවන ගැටලුවලට පිළිතුරු සොයන්නටද සිදුවූයෙන් ප්‍රියන්ත මහතාට ඒ ආශ්‍රිත පතපොත ඇසුරු කරන්නටද සිදුවිය.

ඇත්තටම පතපොත පරිශීලනය කරලා වගා ක්‍රම ගැන දැනුම ලබාගත්තා වගේම ප්‍රායෝගිකව ඒවා සාර්ථකද කියලා බලන්නත් මට ඕන වුණා. ඒ අනුව ගෙවත්තේ වගා කරන්න පටන්ගත්තා. ඒ පලදාව අපි සම්පූර්ණයෙන්ම යොදවන්නේ බීජ නිෂ්පාදනය වෙනුවෙන්. සමූහයේ සාමාජිකයින් අතරත් බීජ හුවමාරු වැඩසටහන් තියෙනවා. මුලදි අපි බීජ වර්ග බෙදාදීම සිදුකළේ සාමාජිකයින් අතර පමණක් වුනත්, මේ වෙනකොට එය පාසල්, පෙරපාසල්, විහාරස්ථාන සහ වෙනත් ආගමික ස්ථාන දක්වා ගෙන යන්න කටයුතු කර තිබෙනවා.

එපමණක් ද නොවේ. ගාල්ල හා අම්බලන්ගොඩ ප්‍රදේශ ආවරණය වන පරිදි බීජ වර්ග නොමිලේ බෙදාදීමේ කටයුතුවලට ඔවුන් දායක වී තිබේ. එහිදී මතකයෙන් ඈතට ගොස් තිබුණු ඇතැම් දේශීය බීජ වර්ගවලට යළි පණ දෙන්නට හැකිවීම ගැනද ඇත්තේ සතුටකි.

ඉතින් අද වෙද්දි අපේ සමූහයේ සාමාජිකයින් එක්ලක්ෂ තිස්දහස ඉක්මවා ඉන්නවා. ඒ අයට අවශ්‍ය බීජ, දැනුම වගේම මග පෙන්වීම කරන කාර්ය මණ්ඩලයකුත් අපිට ඉන්නවා.

ඔහු මේ සියලු කටයුතුවලට දායකත්වය දෙන්නේ කතලුව ජාතික පාසලේ පුස්තකාල සේවා සහායක තනතුරේද වගකීම් දරමිනි.

ඒ කුමන වගකීම් අතරේ වුවත් ඔබේ දෑතින් හැඩවෙන ගෙවත්තකට අවශ්‍ය උපදෙස් ලබාදෙන්නටත්, ගෙවතු වගාවේ අගය රට පුරා ගෙනයමින් බොහෝදෙනෙකු දිරිමත් කරන්නටත් ඔහු හෙට දවසේත් සූදානම්ය.

දීපා වසන්ති එදිරිසිංහ