නවතම ප්‍රවෘත්ති

ජිම් යන්න කියලා කිව්වට අපි ලාල් කාන්ත මහත්තයා එක්ක තරහ නෑ

අපි නිතරම ප්‍රියමනාපව ඉන්න ඕනේ. විශේෂයෙන්ම හෙදියන්. ලස්සනට, පිළිවෙලට, දැක්කහම ආස හිතෙන්න, ලෙඩාගේ ලෙඩ සනීප වෙන විදියට මූණු, ශරීර තියෙන්න එපැයි. හරි නම් ඔයාලා හැමදාම ජිම් යන්න ඕනේ. හැම හෙදියකටම ජිම් යෑම අනිවාර්යය කරලා ආයතනික මට්ටමේන් නීතියක් ගේන්න ඕනේ. ඇත්තටම මම රෝහලේ වෛද්‍යවරයෙක් හරි ලොක්කෙක් හරි නම් නර්ස්ලා ටික ඔක්කොම සිහිනිඟ, පුළුලුකුල, පිරුණු ලැම තියාන් ඉන්නවට මම කැමතියි.”

පහුගිය දවසක සමස්ත ලංකා හෙද සංගමේ ජාතික සමුළුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත හෙදියන්ට කරපු ඔය කතාව සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් වගේ පැතිරුණා. විවිධ ක්ෂේත්‍රවල උදවිය ඔය ගැන විවිධ කතා කිව්වා.

ලාල් කාන්ත වැරදි දෙයක් කිව්වේ නැහැ. කියපු විදිය ටිකක් අවුල් වුණාට එයාගේ චේතනාව හොඳයි.” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහොම කියද්දි ලාල් කාන්තගේ පක්ෂෙම සාමාජිකාවක් වෙන ආචාර්ය හරිනි අමරසූරිය ලාල් කාන්ත මහත්තයගේ කතාවට යහපත් ප්‍රතිචාර දක්වලා තිබුණේ නැහැ.

ගෑනු පිරිමි බේදයකින් තොරව සෞඛ්‍යසම්පන්නව ජීවත්වීමේ නිදහස අහිමිවුණු රටක ගෑනු විතරක් හැඩට ඉන්න ඕනේ ඇයි කියලා ඇතැම්මු ප්‍රශ්න කරලා තිබුණා. ඒ මුළු කතාවම හොඳයි, නර්ස්ලා ඉස්පිරිතාලෙ දොස්තරලගෙයි, ලොක්කන්ගෙයි ඇහැ පිනවන්න ඉඟ සුඟ මිටින් ගන්න ගාණට තියාගන්න ඕනේ කියන කෑල්ලෙන් ලාල් මහත්තයා කතාව අල කරගත්තය කියලාත් කථිකාවක් ගොඩනැගුණා.

අහක ඉඳලා විචාරේ කරන ඔය කොයි කාගෙන්වත් නැතිව නර්ස්ලා ගැන ලාල් කිව්ව කතාවට නර්ස් නෝනලගේ හිත් රිදිලද කියලා අහන්න අපි කතා කළේ වසර ගාණක් හෙද සේවයේ නිරත ජ්‍යේෂ්ඨ හෙදිය පුෂ්පා රම්‍යානි ද සොයිසාට. අද ‘ධරණී’ කවරය සැරසෙන්නෙත් ඇගේ හැඩැති රුවින්.

 

*පුෂ්පා මිස් ලාල් කාන්ත මහත්තයගේ කතාව ඇහුවද?

ඔව් මම ඒ කතාව ඇහුවා.

 

*ඒ කතාව අහපු නර්ස් නෝනලාගේ හිත් රිදිලාද?

අනේ නැහැ. ඒ මහත්තයගේ කතාව අහලා කාගෙවත් හිත් රිදුණු බවක් මම නම් දැක්කේ නැහැ. හෙදියක් කියන්නේ ඕනම දේකට ඔරොත්තු දෙන හිත් හයිය ගෑනු කොට්ඨාසයක්. ඔය වගේ කතාවලට හිත් රිදෙන කෙනෙක්ට හෙදියක් වෙන්න බැහැ. මම හිතන්නේ ඔහු ඒ කතාව කිව්වේ නරක හිතකින් නෙමෙයි. ඉතින් ඔහු ගැන මගේ හිතේ නම් තරහක් නැහැ.

 

*ඒ කියන්නේ නර්ස් කෙනෙක් වුණහම ඇහැට කනට පේන්න ලස්සනට ඉන්න ඕනේ කියලද ඔබත් කියන්නේ?

මෙහෙමයි. ලස්සන මිනිස්සු කැත මිනිස්සු කියලා පෙනුමෙන් මිනිස්සු බෙදන්න බැහැ. හැබැයි උසට සරිලන බරක් පවත්වගන්න එක, ඇඟේ හැඩය පවත්වගන්න එක නර්ස්ලට විතරක් නෙමෙයි ගෑනු පිරිමි බේදයක් නැතිව කොයිකාටත් වැදගත්. කෙනෙක්ගේ ඇඟ හැඩයි කියන්නෙම ඒ මනුස්සයා සෞඛ්‍යසම්පන්නයි කියන එක. ඉතින් නර්ස් කෙනෙක් වුණත් හැඩට ඉන්න එක ඇයගේ සෞඛ්‍යට වගේම වෘත්තීය ජීවිතේටත් බලපානවා.

 

*කරුණාව, දයාව, හැකියාව වගේ දේට අමතරව  සිහිනිඟයි, පුළුලුකුලයි හෙදියකගේ වෘත්තීය ජීවිතේට බලපාන්නේ කොහොමද?

මම කිව්වනේ කෙනෙක්ගේ ඇඟ හැඩයි කියන්නේ ඒ කෙනා නිරෝගී කියන එකයි. හෙදියක් කියන්නේ දුවලා පැනලා රෝගීන් වෙනුවෙන් කඩිමුඩියට වැඩ කරන කෙනෙක්. ඉතින් නිරෝගී නැති කෙනෙක්ට එහෙම ක්‍රියාශීලි වෙලා වැඩ කරන්න අමාරුයි. අනික හැඩට, පිරිසිදුවට ඉන්න නර්ස් නෝනා කෙනෙක් දකින එක ලෙඩ්ඩුන්ගේ මනසටත් අස්වැසිල්ලක්. ඒක රෝග සුවපත් වෙන්නත් නිමිති වෙනවා.

 

*ලෙඩ්ඩුන්ට අමතරව හොස්පිට්ල් එකේ ඩොක්ටර්ස්ලාටයි, ලොක්කන්ටයි පේන්නත් නර්ස්ලා හැඩට ඉන්න ඕනේ වගේ එකකුත් ඒ මහත්තයා කිව්වා?

ඔය කාටවත් පේන්න නෙමෙයි. තමන් ගැන හිතලා තමන් හැඩට ඉන්න කියන එකයි කාන්තාවන්ට මම කියන්නේ. ඒක පවුල් ජීවිතේට පවා බලපානවා.

 

*නර්ස්ලට ජිම් යන එක අනිවාර්යය කළොත් ජිම් එකට යන්න වෙලාව තියෙනවද?

ඔය නීති පනවන කතාව නම් ප්‍රායෝගික නැහැ. ඇත්තටම මමත් කාලයක් ජිම් ගියා. වෙලාව නැති නිසා නතර කළා. අපේ රෝහල්වල සේවයට හෙදියන් 72,000ක් අවශ්‍යයි. ඒත් අපිට හිටියේ හෙදියන් 40,000යි. ඒකෙනුත් බහුතරයක් මෑතකදි විදේශගත වුණා. තව කොටසක් විශ්‍රාම ගියා. දැන් ඉන්නේ හෙදියන් 38,000යි. ඉතින් හැම හෙදියක්ම තමන්ගේ සේවා කාලයට අමතරව අතිකාල සේවා කරලා තමයි හෙද සේවය ඇදගෙන යන්නේ. එයාලට ගෙවල්වල ගිහින් එයාලගේ වැඩක් කරගන්නවත් වෙලාව නැහැ. ඉතින් එහෙම එකේ නීති පනවලා අනිවාර්යයෙන්ම ඔයාලා ජිම් යන්න කියලා කාටවත් කියන්න බැහැ.

 

*ජිම් යන්න වෙලාවකුත් නැත්තම් නර්ස්ලා හැඩට ඉන්න ඕනේ කියලා කියන්නේ කොහොමද?

මෙහෙමයි. ජිම් යන්න වෙලාවක් නැති එක නිදහසට කාරණාවක් නෙමෙයි. තමන්ට වටිනාකමක් දෙන මිනිස්සු කොහොම හරි තමන්ට වෙලාව හොයාගන්නවා. හැඩට, නිරෝගීවට ඉන්න ජිම් යන්නම ඕනෙ නැහැ. ගෙදරදි හරි ඒ දේවල් කරන්න කාලය හොයාගන්න වෙනවා.

 

*පුෂ්පා මිස් ගෙදරදි ව්‍යායාම කරනවද?

ඔව් අනිවාර්යයෙන්ම. මගේ ජීවිතේ අංක එක මම. මම නිරෝගී වුණොත් තමයි මට අනිත් අයට හොඳින් සේවය කරන්න පුළුවන්. මම දිනපතාම එකදිගට විනාඩි විස්සක් ව්‍යායාම කරනවා. ඒකට මම ව්‍යායාම උපකරණ කිහිපයක්ම ගත්තා. වැඩ ඉවර වෙලා ඇවිල්ලා රෑ එකට දෙකට හරි ව්‍යායාම කරනවා.

 

*ව්‍යායාම කරනවට අමතරව කෑමත් පාලනය කරනවා ඇති?

ඔව්. මම මස්, මාළු මුකුත් කන්නේ නැති පියෝ වෙජිටේරියන් කෙනෙක්. හැබැයි එළවලු, පලතුරු, ධාන්‍ය වගේ දේ වැඩිපුර කනවා. දවසට වතුර ලීටර 3ක් විතර බොනවා. සෞබ්‍යමත් ජීවිතයක් ගතකරන නිසා අදටත් මට ඉහෙන් බහින ලෙඩක් නැහැ. අනිත් අය කියන කතාවලට හිත් රිද්දගන්න වෙලාවයි, ඒවගෙ හරි වැරැද්ද හොයන්න යන වෙලාවයි තමන්ගේ වැඩක් වෙනුවෙන් යොදවන්න කියන එක තමයි මට අනිත් අයටත් කියන්න තියෙන්නේ.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්

පසුතලය Step up Fitness Center බොරලැස්ගමුව