ඉවුම් පිහුම්

ආප්ප

අවශ්‍ය ද්‍රව්‍ය:
* සුදු හාල් 500g ක්
* පොල් කිරි (පොල් ගෙඩියක පමණ දිය කිරි සහ මිටි කිරි)
* පොල් වතුර අවශ්‍ය පමණ
* යීස්ට් තේ හැඳි 1ක්
* සීනි මේස හැඳි 2ක්
* ලුණු රස අනුව

සාදන ක්‍රමය:
සුදුහාල් වලට වතුර දමා පැය 5-6 ක් (පුරා රැයක්) පමණ පෙඟෙන්න තියන්න. වතුර පෙරා ඉවත් කර හාල් වලට පොල් වතුර ටිකක් සහ දිය කිරි ටිකක් දමා හොඳින් කැට නැති වනතුරු බ්ලෙන්ඩර් කරගන්න. මෙය තරමක් ඝන මිශ්‍රණයක් විය යුතුයි.

දැන් මෙයට යිස්ට් සහ සීනි දමා හොඳින් මිශ්‍ර කර පැය 5-6 ක් පිපෙන්න තියන්න.

ඉන්පසු පිටි මිශ්‍රණයට අවශ්‍ය තරම් උකු පොල් කිරි දමා ගොඩක් දියර ගතියක් නැතිව ගොඩක් ඝනකමත් නැති වෙන්න සාදා ගන්න. රස අනුව ලුණු දමන්න.

ආප්ප සෑදීමට පෙර මිශ්‍රණය පැයක් හෝ පැය භාගයක් පමණ තබන්න.

* දැන් අපි ආප්ප තාච්චිය පදම් කරගමු.

ආප්ප තාච්චිය ගෙන එයට තෙල් තේ හැන්දක් පමණ දමා රෙදි කෑල්ලකින් තෙල් වටේම හොඳින් ගෑවෙන සේ පිස දමන්න. නැතිනම් බිත්තරයක් බදින්න. සමහරු මේ සඳහා තාච්චියේ බුලත් කොළයක් අතුල්ලනවා…

දැන් රෙදි කැබැල්ලක් හෝ ටිෂු එකක් ආධාරයෙන් තාච්චියේ තෙල් ටිකක් ගා මද ගින්දරේ රත් වෙන්නට තබන්න.

මීළඟට ආප්ප මිශ්‍රණයෙන් හැන්දක් දමා මිශ්‍රණය තාච්චිය වටේම ගෑවෙන සේ කරකවන්න. පියන වසා තබන්න. ආප්ප වාටිය රන්වන් පාට වීගෙන එන විට ලිපෙන් බාගන්න.

එක් ආප්පයක් සාදා ලිපෙන් බා ගත් පසු තෙල් ටිකක් ගා ඊළඟ ආප්‍පය හදන්න ගන්න‍.

* ආප්පයක් කාලා බැලුවාම ලුණු සහ ආප්ප පදම හරිද කියල දැන ගන්න පුලුවන්. ඝණකම වැඩි නම් තව පොල් කිරි ටිකක් දාන්න.

* මේ ප්‍රමාණ වලින් සාමාන්‍ය තරමේ ආප්ප 20-25ක් පමණ හදන්න පුලුවන්.

* බිත්තර ආප්ප හදනවා නම් මිශ්‍රණය අඩුවෙන් ගෙන පතුල ඝණකම නැති ආප්පයක් වත් කර ඒ ගමන්ම බිත්තරය කඩා දමා රස අනුව ලුණු සහ ගම්මිරිස් දමන්න. දැන් තාච්චිය වසා ගින්දර ටිකක් අඩු කර බිත්තරය අවශ්‍ය පමණට තැම්බෙන තුරු තබා ලිපෙන් බා ගන්න.