ඉවුම් පිහුම්

කිරි කෝපි

අවශ්‍ය ද්‍රව්‍ය:
*නැවුම් එළකිරි/Fresh Milk කෝප්ප එකහමාරක්
* කෝපි කුඩු තේ හැඳි එකහමාරක්
* සීනි තේ හැඳි 4ක්
* මිල්ක්මේඩ් තේ හැඳි 2ක් (අවශ්‍යම නැහැ)

සාදන ක්‍රමය:
කෝපි ටික උණු වතුර තේ හැඳි 4ක් දමා හොඳින් දිය කරගන්න.

පිරිසිදු සාස්පානක් ගෙන එයට කිරි ටික දමා මද ගින්දරේ රත් කරන්න. කිරි ටික යන්තමට උණු වේගෙන එද්දී ලිපේ ගින්දර අඩු කරන්න.

දැන් එයට මිල්ක්මේඩ් තේ හැඳි 2ක් දමා හොඳින් මිශ්‍ර කරන්න.

මීළඟට සාදාගත් කෝපි දියරය දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙය යන්තමට නටාගෙන එද්දී (කිරි ඉතිරෙන්න දෙන්න එපා…) ලිපෙන් බා ගන්න.

දැන් සීනි එකතු කර හොඳින් මිශ්‍ර කර පෙරා ගන්න.

ඇලුමිනියම් කෝප්ප 2ක් ගෙන 3-4 සැරයක් කෝප්ප එකිනෙකට වක්කරන්න. මේ ක්‍රමය නිසා පෙන එනවා වගේම කෝපි එක වඩාත් රසවත් ගන්න පුළුවන්…

* මෙම ප්‍රමාණය කෝපි කෝප්ප 2ක් සඳහායි.
* පිටිකිරි ගන්නවනම් පුරවාගත් පිටිකිරි තේ හැඳි 4ක් උණු වතුර කෝප්ප එක හමාරක කැටි නැතිවෙන සේ හොඳින් දිය කරගෙන පෙරා ගන්න.
*මිල්ක්මේඩ් නැත්නම් ඒ වෙනුවට රස අනුව තවත් සීනි හැන්දක් පමණ දමා ගන්න.