ඉවුම් පිහුම්

කුරක්කන් හැලප

අවශ්‍ය ද්‍රව්‍ය:
* කුරක්කන් පිටි 400g ක්
* ලුණු ස්වල්පයක්
* වතුර
* කැන්ද කොල කිහිපයක්
* ගා ගත්ත පොල් බෑයක පොල්
* සීනි 300g ක්
* උණු වතුර මේස හැඳි 2 ක්
* කුරුඳු පොතු කැබැල්ලක්

සාදන ක්‍රමය:

භාජනයක් ලිප තබා එයට සීනි මේස හැඳි දෙකක් පමණ දමා කැරමල් කරගන්න. සීනි දියවී පැණි පාට එනවිට උණු වතුර ස්වපයක් දමා පසුව ඉතිරි සීනි ටිකත් එකතු කර ගන්න. පැණි ටික බුබුළු දමමින් එනවිට ගා ගත් පොල් ටික දමා මදගින්නේ හොඳින් මිශ්‍ර කරගන්න. මෙයටම කුරුඳු පොතු කැබැල්ල හා ලුණු රස අනුව එක්කර ගන්න. ජලය සියල්ල වාෂ්ප වී පැණි පොල් ටික හොඳින් ඝන වන තුරු මද ගින්දරේ මලව ගන්න. සාදාගත් පැණි පොල් නිවෙන්නට පැත්තකින් තබන්න.

කුරක්කන් පිටි වලට ලුණු හා ජලය එක්කර හොඳින් අනාගන්න. මෙම පිටි මිශ්‍රණය කුඩා බෝල වලට කඩා ගන්න. දැන් කැන්ද කොළයක් දිග හැර (හොඳ පැත්ත උඩට තබා) සාදා ගත් හැලප මිශ්‍රණයෙන් කුඩා බෝලයක් තබන්න. අත්ලෙන් කොලයේ හැඩයට තුනී කරගන්න. මේ මැදින් කලින් සාදාගත් පැණි පොල් ටිකක් තබා කැන්ද කොලය හැලප මිශ්‍රණත් සමග දෙකට නවන්න. කැන්ද කොළය පුරා පැතිරෙන ආකාරයට සීරුවෙන් අතින් තලන්න. මේ ආකාරයට සියලුම හැලප සාදාගන්න.

ස්ටීමරයක හැලප ටික අසුරා ගන්න. සෑම කොටසකටම වාෂ්ප වදින සේ අතුරා ගැනීමට මතක තබා ගන්න. පැය භාගයක් පමණ හොඳින් වාෂ්පයෙන් තම්බා ගන්න.

* කැන්ද කොළ සොයාගත නොහැකි නම් ඒ සඳහා කෙසෙල් කොළ හෝ හල්මිල්ල කොළ භාවිතා කළ හැකිය.