පොල් කඩනවට අමතරව මම දැන් තැඹිලිත් බානවා
නිකී ඇන්ට්‍රම් යනු ජිම් නම් ආබාධිත දරුවෙකු සමඟ තනිවුණු ඔස්ට්‍රේලියානු ජාතික මවකි. ඇය මව් පදවිය ලැබුවේ වයස අවුරුදු 17දීය. දරුවා බිහිකර දෙතුන් මාසයක් ගතවෙද්දී එක්වරම ජිම්ගේ ඇස් අන්ධ විය. ප්‍රතිකාර සොයා නිකී රෝහලක් රෝහලක් ගානේ ඇවිද ගියද ජිම්ගේ පෙනීම නැවත ලබාදෙන්නට ඇයට හැකිවුණේ නැත. ඔය අතරම දරුවාට අපස්මාර රෝගයද වැළඳුනි. එහි ප්‍රතිඵලය ලෙස පුංචි ජිම් ඇවිදගැනීමට බැරි ආබාධිත දරුවෙක් බවට පත්විය.
දරුවෙකුගේ පුංචි සීරීමක් වුවද අම්මෙකුට එය මහා හිසරදයකි. ඒ අම්මලාගේ හැටිය. ජිම්ගේ අසනීප තත්ත්වය නිසා නිකීගේ හිතත් හොඳටම පෑරී තිබිණි. එලෙස පෑරුණු හිත සනසාගැනීමේ අටියෙන් ඇය දරුවා ඉදිරියේ පොරොන්දුවක් වූවාය. එනම් කොතරම් දුෂ්කරතා මැද වුවද ඔහු සතුටින් තැබීමට කටයුතු කරන බවයි. අනතුරුව ජිම්ව පිටේ රුවාගෙන රට වටේ ඇවිදිමින් ඈ ඒ පොරොන්දුව ඉටු කළාය.
“ඔව් මට මහන්සියි. ඒත් මං මගේ දරුවා වෙනුවෙන් පුළුවන් කාලයක් මෙහෙම කරනවා. අම්මෙකුට දරුවෝ වෙනුවෙන් කරන්න බැරිදෙයක් නෑ.”
ඇය පවසන්නේ කුසින් වැදූ දරුවකුගේ බර කිසිදිනෙකවත් අම්මෙකුට බරක් නොවෙනා බවයි. ඒ බව සනාථ කළ තවත් මවක පිළිබඳව කතාවක් පසුගියදා අපට දැනගන්නට ලැබුණි. ඒ අම්බලන්තොට, නෝනාගම ප්‍රදේශයෙනි. රෝහිණී මල්ලිකා නම් වන මේ මවට වයස අවුරුදු 28කි. දරු දෙදෙනෙකි.
පෙදරේරු රැකියාවේ නිරත වූ ඇගේ සැමියා ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක ඉහළ මාලයෙන් ඇද වැටී මීට අවුරුදු දහයකට ඉහතදී මියගොසින්ය. දිවි තොර කරගන්නට තරම් හිත වේදනා තිබියදීත් දරුවන් දෙදෙනා සමඟ දිවි ගැටගහ ගන්නට රෝහිණී සැමවිටම උත්සාහ කළාය. දසඅතේ රැකියා සෙව්වද අකුරු නූගත් ඇයට රැකියාවක් දෙන්නට කිසිවෙකුගේත් හිත් උණුවුණේ නැත.
“මං ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. ඒ හින්දා ඉතින් අකුරු ලියන්න කියන්න එහෙම බෑ. එහෙම කෙනෙක් වැඩට ගන්න කවුරු වුණත් කැමති නෑනේ. ඉතින් දරුවන්ගේ අනාගතේ ගැන හිතලා මං තීරණය කළා කාටවත් බරක් නොවී මට පුළුවන් විදියේ රස්සාවක් කරන්න.”
ඇගේ තෝරාගැනීම වූයේ පොල් කඩන රස්සාවය. පිරිමින්ට සින්නක්කරව ලියාදී නොතිබුණද මෙතෙක්කල් පොල් කඩන රස්සාව කළේ පිරිමිය. ඒ නිසා රෝහිණීට මුලදී වැඩ ලැබුණේ නැත. ඒ ගමේ උදවියගේ ගස්වල කඩන්නට පොල් නොතිබූ නිසාම නොවේ. ගැහැනියක් පොල් ගසකට නංවා එක හිතකින් ඒ දෙස බලා ඉන්නට තිබූ නොහැකියාවද ඊට හේතු වූවා වියහැකිය. නමුත් පුරුදුකාරියක මෙන් රෝහිණි ඇගේ වත්තේ ගස්වලට නැග පොල් කඩා විකුණන්නට පටන්ගත් නිසාවෙන් ගම්මුන්ගේ බිය සැක සංකා තුරන් වී ගියේය.
“ගමේ ගොඩේ හැදුනු වැඩුනු නිසා පොඩි කාලේ ඉඳලා මට පුවක් ගස්, පොල් ගස්වලට බඩගාලා පුරුදුයි. ඒ හින්දා ආයෙත් පුරුදුවෙන්න දෙයක් තිබුණේ නෑ. දැන් මම පොල් කඩනවට අමතරව තැඹිලි බාන එකත් කරනවා. දැන් මං මේ රස්සාව කරන්න අරන් අවුරුදු කීපයක් වෙනවා. මමයි දරුවෝ දෙන්නයි කාලා ඇඳලා ඉන්නේ මේ රස්සාව නිසා. ඒ විතරක් නෙවෙයි මගේ නංගිට ටිකක් අසනීපයි. ඉතින් එයයි එයාගේ දරුවා ගැනයි බලන්නෙත් මං තමයි.”
දරුවන් අතේ, කරේ එල්ලාගෙන, දහසකුත් එකක් නැතිබැරිකම් කියාගෙන සිඟමන් යදින මව්වරුන් බහුල යුගයක රෝහිණී වැන්නවුන් පසසන්නට අප දන්නා වචන ප්‍රමාණවත් නැත. මතු යම් දිනෙක බුදුබව ලබනු ඇතැයි කියන්නේද නිසැකවම එහෙම අම්මලා විය යුතුය.
රුවන් එස්.සෙනවිරත්න