විශේෂාංග

කොට සායට මාරු වුණොත් නීතීඥ නෝනලාට වැඩක් කරගන්න වෙලාවක් නැතිවෙයි

නීතීඥවරියන් දැනට අධිකරණයේ පෙනී සිටීමට අඳින නිල ඇඳුම වෙනස් කළ යුතු බවට මේ වනවිට නව ගැසට් පත්‍රයක් සම්මත වී ඇත. සමහරක් මේ ගැන ඉතාමත් සුබවාදීව කතා කළත් බහුතරයක් දෙනා එයට අකමැත්ත ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇත. මේ අතරතුර අප කාන්තා නීතීඥ සංගමයේ හිටපු සභාපතිනියක් වන මේ වනවිට වැඩ බලන මහේස්ත්‍රාත්වරියක් ලෙසටත් කටයුතු කරන ජ්‍යේෂ්ඨ නීතීඥ සන්ධ්‍යා තල්දූව මහත්මියට කතා කළේ එවැනි ගැසට් පත්‍රයක් සම්මත කරගැනීමට විශේෂ කරුණක් මුල්වූවාද යන වග දැනගැනීමටයි. මේ ඇය සමඟින් කළ එම සංවාදයේ සටහනයි.

නීතීඥ වෘත්තිය කියන්නේ රටේ ඉහළම තැනින් නීතිරීති මාලාවක් පනවලා තියෙන ඉතාමත් ගෞරවනීය රස්සාවක්. ඒ නිසා මම පෞද්ගලිකව හිතනවා නීතීඥවරියගේ ඇඳුමත් ඒ ගෞරවයට සාපේක්ෂව විය යුතුයි කියලා. නීතීඥවරියක් අධිකරණයට ඇඳිය යුතු සාරියට විශේෂයෙන් සම්මත වර්ණ කීපයක් තියෙනවා. ඒ තමයි කළු, සුදු, අළු සහ දම් කියන වර්ණ ටික. නමුත් අපේ සමහරක් නීතීඥ නෝනලා ඒ කාලෙ වගේම අදටත් ඒ වර්ණ සංකලනයට ගරු නොකරන අවස්ථාවල් තියෙනවා. අනික සමහරු අදටත් අධිකරණයට අත් රහිත සාරි හැට්ට අඳිනවා. නමුත් මම සහ මගේ සමකාලීන නීතීඥවරියෝ දිවුරුම් දීපු මුල් කාලයේදී අපි අධිකරණයට අඳින සාරියේ සංවරශීලී බව ගැන වගේම වර්ණ ගැනත් ඉතාමත් සැලකිලිමත්ව කටයුතු කළා. ඒක අදටත් එහෙමමයි. ඔය හේතුව නිසයි මම 2017-18 කාලේ කාන්තා නීතීඥ සංගමයේ සභාපතිවරිය විදියට කටයුතු කරද්දි නීතීඥවරියන්ට සංවරශීලී නිල ඇඳුමක් අඳුන්වා දෙන්න ඕන කියලා එවකට නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්.ඩී.ද සිල්වා මැතිතුමාට යෝජනාවක් ඉදිරිපත් ක‍ළේ. ඒ අනුව එතුමා ඉතාමත්ම උනන්දු වෙලා අපිට ඊට අවශ්‍ය සියලු සහයෝගය ලබලා දුන්නා.”

එහි ප්‍රතිඵලයක් ලෙස නීතීඥවරියන්ට දිග කලිසමට සුදු පැහැති කමිසය සමඟින් කළු කබාය ඇඳීමට ගැසට් පත්‍රයක් එවකට අගවිනිසුරු ප්‍රියසාද් බෙත් මහතාගේ අනුමැතිය සහිතව සම්මත වූ බවයි ඇය කියන්නේ.

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් බෙත් මැතිතුමා වගේම එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් විදියට කටයුතු කරපු ජීවා වනසුන්දර මැතිනියත් ඊට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. ඒ වුණාට ඔය ගැසට් පත්‍රයට අත්සන් කරලා දවස් දෙකකට පස්සේ තමයි ප්‍රියසාද් බෙත් අගවිනිසුරුතුමාගේ විශ්‍රාමික උත්සවය සංවිධානය වෙලා තිබුණේ. ඒ නිසා එතුමා විසින්ම අනුමැතිය දීපු ඒ නිල ඇඳුම මුල්ම වතාවට එතුමාගේ විශ්‍රාම උත්සවයටම අඳින්න මමත් මගේ ලේකම්වරියත් කටයුතු කළා. එතැනදී අගවිනිසුරුතුමාත් අපි එක්ක මාධ්‍යවල ඡායාරූපවලට පෙනී ඉඳලා ඒ නිල ඇඳුමේ නීත්‍යානුකූලභාවය තවදුරටත් තහවුරු කළා. එතැනින් පස්සේ ගොඩක් කාන්තා නීතීඥවරියන් ඒ නිල ඇඳුමෙන් අධිකරණයට යන්නත් කටයුතු කරලා තිබුණා. හැබැයි එතුමා විශ්‍රාම ගිහිල්ලත් මාස හයක් විතර යනකොට තමයි අපිට දැනගන්න ලැබුණේ ඒ ගැසට් පත්‍රයට තවදුරටත් එතුමාගේ අත්සනක මදිපාඩුවක් තියෙනවා කියලා. නමුත් මේකට ඊටපස්සේ පත්වෙලා ආපු විනිසුරුතුමන්ගෙන් සැලකිය යුතු අවධානයක් නොලැබුණු නිසා ඒ කතාව එහෙමම යටපත් වුණා.”

මෑතකදී සම්මත වුණ නව ගැසට් පත්‍රය ගැනත් ඇය කියන්නේ මෙවැන්නක්.

අලුතෙන් සම්මත වෙලා තියෙන ගැසට් පත්‍රයට දැන් අපි අඳින සාරියයි, අලුතෙන් කළු කොට සායකුත් එක්ක එදා මම මූලික වෙලා සම්මත කරගත්තු කලිසමයි කමිසයයි කළු කබායයිත් ඇතුළත් කරලා තියෙනවා. මගේ මූලිකත්වයෙන් සම්මත වුණ ඇඳුමත් මේ ගැසට් පත්‍රයට ඇතුළත් කරලා තියෙන එකට මම පෞද්ගලිකව සතුටු වෙනවා. නමුත් සාරියයි, කොට සායයි කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන එක ගැන මට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපේ නීතීඥ නෝනලා සාරියේ පාට විකෘති කරලා ඇන්දා වගේම ඔය සායේ දිග පළලත් විකෘති කරලා අඳින්න පටන්ගත්තොත් ඕක විශාල ගැටලුවක් බවට ප​ත්වෙනවා. ඊළඟට ඒවා පාලනය කරන්න වෙනත් නීති සම්මත කරන්න මහන්සි ගන්න වෙනවා. නමුත් අපේ නීතීඥ නෝනලා ටික එහෙම නොවී සම්මත දිග, පළලට අනුව ඔය කියන සාය ඇන්දොත්, අදාළ පාටින් විතරක් සාරිය ඇන්දොත් ඔය දෙකේම කිසිම ගැටලුවක් මම දකින්නෙත් නෑ. මොකද එදාට වඩා අද ගොඩක් වෙනස්. ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලින් නීති අධ්‍යාපන ලබාගෙන නීති විද්‍යාල පුහුණුවට එන නීති ශිෂ්‍යයාවෝ ප්‍රමාණයත් වැඩියි. ඒ සමහරක් අය ඔය සාරි, ඔසරි අධිකරණයට ගැළපෙන විදියට අඳින්නවත් දන්නේ නෑ. එහෙම එකේ ඕකට තව කොට සායකුත් පටලවගත්තොත් හැමවෙලාවෙම ඕකෙ දිග, පළල මැන මැන ඉන්නවා ඇරෙන්න අධිකරණයේ වැඩක් කරගන්න වෙලාවක් නැතිවෙයි කියලා මට හිතෙනවා. ඒක ඒ අයට කාලයක් තිස්සේ ලැබුණු ආභාෂයේ වරදක් මිසක එයාලගේ වරදක් නෙවෙයි. එහෙමයි කියලා අපිට මේ වෘත්තියේ ගෞරවය නැති වෙනකන් බලාගෙන ඉන්නත් බැහැ. ඒකයි මම කලිනුත් කිව්වේ කලිසම කමිසය එක්ක කළු කබාය ඇන්දම ඔය කියන ප්‍රශ්න මොකුත් නෑ කියලා. ඒ විතරක් නෙවෙයි එහෙම ඇන්දම නීතීඥවරියන්ගෙනුත් නීතීඥ මහත්තුරුන්ට සාපේක්ෂව වෘත්තියට ගැළපෙන විදියට ගරු ගාම්භීරත්වයක් පේන්න පුළුවන්.

නමුත් නීතීඥවරියෝ විදියට අපිත් සාමාන්‍ය කාන්තාව අඳින කොට සායම ඇඳගෙන අධිකරණයට යන්න පටන්ගත්තොත් ඉදිරි අනාගතයේදී මිනිස්සු අපේ පිටට තට්ටු දාලා කතා කරන තත්ත්වයකට පත්වෙයිද කියලත් කියන්න බෑ. මම කියන්නේ අපි නීතීඥවරියෝ විදියට අනිත් කාන්තාවට වඩා ඉහළින් ඉන්න ඕන කියලම නෙවෙයි. ඒකෙන් අධිකරණය සහ රටේ නීතිය හෑල්ලුවට ලක්වෙනවා කියන එක. එහෙමයි කියලා මම සාරිය සහ කොට සාය විවේචනයට ලක්කරන්නෙත් නෑ. නමුත් කොට සායේ දිග, පළලටයි සාරිවල තියෙන අඩුපාඩු හොයන්න කාලය කැප කරනවට වඩා ප්‍රියසාද් බෙත් අගවිනිසුරුතුමා සම්මත කරලා ගිය කලිසම කමිසයත් එක්ක කළු කබාය අඳින එක නීතීඥවරියන්ට සුදුසුයි කියන එකයි මගේ පෞද්ගලික මතය.”

 

ලිහිණි මධුෂිකා