සිහින තාරකාවක් ළඟ ‘ තාරකා ඉබ්බෙක්’ නතර වෙලා?
ඒ වෙනකොට සුපිරි බොලිවුඩ් නලු සල්මන් ඛාන්ගෙයි කත්රිනා කායිෆ්ගෙයි අවුරුදු ගණනක ආදර කතාව අවසන් වෙලා, ගිහින් තිබුනේ ටික කාලයයි. ඔය කාලෙදි සල්මන්, සොනක්ෂි කියලා වෙන තරුණියක් එක්ක කල්ගත කරන හැටි පැපරාසි කැමරාවලට අසුවෙලා තිබුනා. ඒ ෆොටෝ එළියට පැමිණීමත් එක්කම කවුරුත් හිතුවේ සල්මන් – කත්රිනා ප්‍රේමය දෙදරපු හේතුව සොනක්ෂි කියලා. කොහොම හරි මේ කියන 2009 අවුරුද්ද අන්තිම කාලේ දෙන්නා හිටියේ එකටමයි. ඒත් එක්ක කවුරු කවුරුත් හිතුවේ අසාර්ථක ප්‍රේම සම්බන්ධතාවන් කීපයකට පස්සේ මෙදා පාර සල්මන් ඒ තරුණිය විවාහ කරගනී කියලා. ඔහු හැසිරුනෙත් ඒ විදිහට. ඒත් ඔවුන් ඒ කරලා තිබුනේ 2010 අවුරුද්දේ තිරගත වෙන්න නියමිතව තිබුනු අලුත් චිත්‍රපටියේ ප්‍රචාරනයක්. ඒ චිත්‍රපටය තමයි ඩබාන්ග්. එහි ප්‍රධාන නිළියවුනේ සොනක්ෂි සින්හා. ඊට අවුරුදු හතරකට පස්සෙත් ඔය විදිහේම සිදුවීමක් වුනා. 2014 අවුරුද්දේ රාම්ලීලා චිත්‍රපටිය තිරගතවුනු කාලේ එහි ප්‍රධාන නලු නිලි දෙපළ වූ රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් දෙන්නා හැසිරුනෙත් හරියටම පෙම්වතුන් වගේ. ඒත් කලින් වතාවේ අර සල්මන්ගේ සිදුවීම නිසා ඒකත් චිත්‍රපටිය වෙනුවෙන් සිදුකරන ප්‍රචාරනයක් කියලා තමයි හැමෝම හිතුවේ. ඒත් ඒක එහෙම දෙයක් නෙවෙයි කියලා 2018 අවුරුද්දේ ඔප්පුවුනේ දෙන්නා විවාහ ගිවිසගනිපු නිසා. ඒක නිසාම රට මොකක් උනත් ප්‍රසිද්ධ චරිත කරන කියන දේවල් මොනවද කියලා අද වෙද්දි ඔවුන්ගේ රසික රසිකාවියන්ටවත් හිතාගන්න, තේරුම් ගන්න බෑ.
බොලිවුඩ්වල විතරක් නෙවෙයි ඔය කතාව අපේ රටටත් දැන් පොදුයි. පසුගිය දවස්වල ඒකට හොඳම උදාහරණයක් වුනේ සමාජ මාධ්‍යයේ ඉතාම වේගයෙන් සංසරණය උනු වස්ති අනුෂ්ක උදානගෙයි රංගන ශිල්පිනී වොල්ගා කල්පනීගෙයි විවාහ ඡායාරූපය. ඒ ඡායාරූපය ඇත්ත කියලා හිතපු බොහෝමයක් අය ඔවුන් දෙන්නට සුබපතලත් තිබුනා. ඒත් ඔවුන් දෙන්නට සුබපතපු උදවියගේ දෙකොණ පූට්ටුවුනේ ඒ ඡායාරූපය සම්බන්ධ උනු වස්තිලාගේ අලුත්ම වීඩියෝවක් කරළියට පැමිණීමත් එක්ක. ඒ උණුසුමත් එක්කම මේ දිනවලදි කලා ක්ෂේත්රයේ ජනප්‍රියම තරු දෙකක් ගැන අලුත්ම කතාබහක් ඇතිවෙලා. ඒ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සංජය මුරමුදලිත්, දෙරණ ඩ්‍රීම්ස්ටාර් හරහා ගායන ලෝකයට පිවිසි අපූර්වා ආශාවරිත් ගැන. මේ වෙනකොට ඔවුන් පෙම්වතුන් කියලයි බොහෝමයක්දෙනා හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ උණුසුමත් එක්කම අපි සංජයටත් අපූර්වාටත් මේ සතියේ “ධරණී” කවරය සරසන්න කතා කළේ මේ ඕපාදූප වල ඇත්ත නැත්ත දැනගන්නත් එක්කමයි. මුලින්ම කතාබහට එකතුවුනේ සංජය.
“මං පුංචි කාලේ හීන දැක්කේ පිටරටකට යන්න. ඒත් රංගනයට ආවට පස්සේ ඒ හීනය එහෙමම යට ගියා. මං තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පාසලේ ශිෂ්‍යයෙක්. ඒ හරහා තමයි රඟපාන්න ඉගෙනගත්තේ. පස්සේ 2018 අවුරුද්දේ “සිරස ෆිල්ම් ස්ටාර්” රියැලිටි තරඟයට ඉදිරිපත් වෙලා දක්ෂම නලුවා විදිහට මං ජයග්‍රහනය කළා. ඒත් එක්ක තමයි රඟපාන්න ආරාධනා ලැබුනේ.”
නුවරඑළියේ, හඟුරන්කෙත කියන දුෂ්කර ගමෙන් කලා ක්ෂේත්රයට අඩිය තියපු සංජයගේ පළවෙනි ටෙලිනාට්‍යය තමයි “අමුතු රසිකයා” කියන්නේ. මුල්ම ටෙලිනාට්‍යය උනත් ඒක ඔහුගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය කියලයි සංජය අපිත් එක්ක කිව්වේ.
“ඒක මගේ පළවෙනි ටෙලිනාට්‍ය උනත් ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කියන්න මට පුලුවන්. මොකද ඒ ටෙලිනාට්‍යයේ කරපු චරිතයට මට සම්මාන උළෙල කීපයකම දක්ෂතම නැගී එන නලුවා විදිහට සම්මාන ලැබුණා.”
සංජය මේ දවස්වල පුංචි තිරයේ කාගෙත් කතාබහට ලක්වෙන වගේම ආකර්ශනය දිනාගත්ත නලුවෙක්.ඊට හේතුව “ස්වර්ණවාහිනී” නාලිකාවෙහි විකාශනය වෙන සුපුන් රත්නායකගේ අධ්‍යක්ෂනයක් වන “ලලයි ලිලයි ලයි” ටෙලිනාට්‍යය. එහි “ජෙමිණි” හෙවත් “තාරකා ඉබ්බා” කියන චරිතය නිසා තමයි සංජය මේ දවස්වල රටේ ජනප්‍රිය.
“ඒ චරිතය හින්දම ගොඩාක් අය දැන් මට කතා කරන්නෙත් තාරකා ඉබ්බා කියලා. ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයට අමතරව මං රඟපාන තවත් ටෙලිනාට්‍ය කීපයක්ම විකාශනය වෙනවා. ඒ හිරු ටීවී නාලිකාවේ සිහින ගෙනෙන කුමාරි සහ අකුරට යන වෙලාවේ, ස්වාධීන රූපවාහිනියේ ආයාචනා වගේම සිරසේ සර්කස්කාරයෝ. ඊට අමතරව හෙක්ටර් කුමාරසිරිගේ “දෙව්ලොව දෝණි” වේදිකා නාට්‍යයෙත් මං රඟපානවා.”
අපේ රටේ ගොඩාක් නලු නිලියෝ රංගනයට සීමාමායිම් දාගෙන හිටියට සංජය කියන්නේ රංගනයට ඒ විදිහට කිසිම සීමාමායිමක් දාගත්ත නලුවෙක් නෙවෙයිලු. මොකද නලුවෙක් විදිහට සීමාමායිම් අස්සට කොටුවෙලා රංගන වෘත්තියේ යෙදෙන්න බෑ කියලයි ඔහු කිව්වේ.
“සීමාමායිම් කියන්නේ වැඩිහිටියන්ට පමණයි ලේබලේම නෙවෙයි. සමහර අලුත් අය ඉන්නවා වතුරේ ශූට්වලට කැමති නෑ බයයි. සටන් කරන්න කැමති නෑ බයයි. සත්තු එක්ක වැඩ කරන්න කැමති නෑ බයයි. ඒත් මං ඔය ඕනෙම දේකට ඔට්ටුයි. සැරයක් මට තිබුනා පාන් ගෙඩියක් අරන් ගඟකින් පීනන්න. පාන් ගෙඩිය තෙමෙන්නත් බෑ. හිතන්නකෝ ජීවිතේට බැහැපු නැති ගඟක එහෙම පීනන එක අභියෝගක්නේ. ඒත් මං එදා ඒ අභියෝගය බාරගත්තා.”
කලා ක්ෂේත්රයේ ඉන්න උදවියට කොයි තරම් ගොසිප් හැදුනත් මෙච්චර කාලෙකට එහෙම ලොකුවට ගොපිස් නොහැදුනු නලුවෙක් තමයි සංජය. ඒ උනත් මේ වෙනකොට සංජය සමාජමාධ්‍යයේ ගොසිප් එකක් බවට පත්වෙලා. ඒ, සංජය දෙරණ ඩ්‍රීම්ස්ටාර් අපූර්වා ආශාවරීගේ පෙම්වතා කියලා. ඒ ගැන ඇහුවම සංජය අපිට කිව්වේ මෙහෙම කතාවක්.
“අපූර්වා කියන්නේ හොඳ කෙනෙක්. ඇය ආදරණීය චරිතයක්. ඒ වගේම සංගීත ක්ෂේත්රයට පායපු වටිනා තරුවක්. මමත් දැක්කා අපූර්වා මගේ පෙම්වතිය කියලා ගොපිස් යනවා. මමත් ඒක ගැන දන්නේ නෑ. හැබැයි එහෙම දෙයක් තිබුනත් මම හිතනවා ඒක ප්‍රේක්ෂකයාට ලොකුවට වැදගත් නෑ කියලා. අපේ නිර්මාණ තමයි ඔවුන්ට වැදගත් වෙන්න ඕනේ.”
අහපු එකට පැහැදිලි උත්තරයක් නොලැබුනු හින්දම ඔවුන් ගැන යන මේ කටකතාව ඔවුන්ගේ මොකක් හරි නව නිර්මාණයක් වෙනුවෙන් ප්‍රචාරණයක්ද කියලා ඇහුවේ ඒ දේවලුත් දැන් අපේ රටේ වැඩිපුර අහන්න දකින්න ලැබෙන හින්දා. එහෙම වෙන්නත් බැරි නෑ කියලයි සංජය හිනාවෙන ගමන් කිව්වේ. අපූර්වා ඔහුගේ පෙම්වතිය උනත් නොවුනත් ආදරේ ගැන ඇහුවම ඔහු කිව්වේ ආදරේ කියන්නේ හුස්ම වගේ තමන්ගේ ළඟම තියෙන්න ඕනේ දෙයක් කියලයි.
පෞද්ගලික ජීවිතේ මොනව වුනත් රංගන ජිවිතේ පැත්තෙන් සංජයගේ ලොකුම ආසාව දවසක හොඳම නලුවා සම්මානයක් ගන්න එකලු. එතැනිනුත් නොනැවතී අධ්යක්ෂවරයෙක් විදිහටත් ඉදිරියේදි ඔහු දකින්න ලැබෙයි කියලයි සංජය ධරණීට කිව්වේ. ඉතින් ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියන ගමන් ඊළඟට අපි හැරුනේ අපූර්වා ආශාවරීගේ දිහාවට. අපූර්වා කලා ක්ෂේත්රයට අඩිය තිබ්බේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් නිසා මුලින්ම ඇයගෙන් ඇහුවේ “ඩ්‍රීම් ස්ටාර්” තරඟෙන් පස්සේ ඇගේ ජීවිතේ වෙනස්වුනේ කොයි විදිහටද කියන කාරණය.
“ඩ්‍රීම්ස්ටාර් තරඟයෙන් පස්සේ ජීවිතේ එහෙම්පිටින්ම වෙනස්වුනා. මොකද පොඩි කාලේ ඉඳන් මගේ ආසාව වුනේ කවදා හරි ගායන ශිල්පිනියක් විදිහට රටේ ජනප්‍රිය වෙන්න. මං හිතනවා අද මට ඒ තැනට එන්න ලැබිලා කියලා. ඒ හැමදේම දෙරණ ඩ්‍රීම්ස්ටාර් නිසා තමයි.”
“සරසවිය” නැත්නම් කාටත් කණට හුරු “සීතල හාදුවකින්” ගීතය ලංකාවේ අතිශය ජනප්‍රිය ගීතයක්නේ. අදටත් ඒ ගීතයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ගීතය ගායනා කරපු යසිත් කෙළඹිආරච්චිගේ සංගීත ජීවිතයටත් ඒ ගීතය පැහැදිලිම ආශිර්වාදක් වුනා කිව්වොත් හරි. අපූර්වා පසුගියදා ඒ ගීතයේ Female Version එක කරලා තිබුනා. ඒකට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඒ ගැන ඇහුවම ඇය කිව්වේ. ඒ අතරතුරේ අපූර්වා රංගනයට අඩිය තියලා තියන බවත් අපි දැක්කා.
“දෙරණ නාලිකාවේ ගියපු ඉරයි හඳයි ටෙලි චිත්‍රපටියේ රඟපෑවා. ඒක දැකලා ගොඩාක් අය කිව්වා අපූර්වාට සිංදු කියන්න විතරක් නෙවෙයි රඟපාන්නත් පුලුවන්නේ කියලා. ඒ ගැන සතුටුයි. ඒත් ආසාවට රඟපෑවට දිගටම රඟපාන්න නම් අදහසක් නෑ. මොකද ගායිකාවක් විදිහට ඉහළට යන එකයි මගේ එකම බලාපොරොත්තුව. හැබැයි ඉතින් හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුනොත් ඒ ගැන සළකලා බලනවා.”
සංජයගෙන් අපූර්වා ගැන ඇහුවා වගේ අපූර්වාගෙන් සංජය ගැනත් අහලා බලන්න හිතුවේ අපූර්වා ඒකට කොයි වගේ උත්තරයක් දෙයිද බලන්න. හැබැයි අපූර්වා දුන්නෙත් සංජය දුන්නු තාලෙම ලිස්සලා යන උත්තරයක්.
“ඔව් මේ දවස්වල සංජයයි මමයි අතර ආදර සම්බන්ධයක් තියෙනවා කියලා කතාබහක් යනවා. ඒක මෙහෙමයි. අපි මේ කලා ක්ෂේත්රයේ වැඩ කරද්දි අපට සුහදශීලී අය මුණගැගෙනවා. අන්න ඒ විදිහට මට මුණගැහුනු හරි සුහදශීලී පුද්ගලයෙක් තමා සංජය අයියා. සංජය අයියා එක්ක ඕන දෙයක් විවෘතව කතා කරන්න පුලුවන්. ඒ වගේම තමයි එයා මට මුණගැහුනු හොඳ සවන්දෙන්නෙක්.”
අපූර්වා එහෙම කිව්වට ගොඩාක් අය හිතාගෙන ඉන්නේ සංජය අපූර්වා පෙම්වතුන් කියලා. ඔවුන් අතර එහෙම සම්බන්ධයක් නැත්නම් ඒක ඔවුන්ගේ ජනප්‍රියත්වයට හානියක් වෙන්නේ නැද්ද කියලත් අපි අපූර්වාගෙන් ඇහුවා.
“මං නම් හිතන්නේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. ඒ මොකද රසිකයන්ට ඕන අපේ නිර්මාණ මිසක් පෞද්ගලික දේවල් නෙවෙයි. රසිකයන්ට ඕනේ ඒ අයගේ හිත පිනවන සහ කන පිනවන නිර්මාණ. ඒක නිසා ඒ දේවල්වලට තමයි මගෙත් මුල් තැන.”
අපූර්වා ආදරේ ගැන මොකද හිතන්නේ?
“ආදරය කියන්නේ ලස්සන හැඟීමක්. ඒ හැඟීම අපට ඕනෙම වෙලාවක ඕනෙම
මොහොතක ඇතිවෙන්න පුලුවන්. මමත් ඒ හැඟීමට ආසයි.”
කතාබහ අවසානයේ අපූර්වාගෙන් ඇයට තියෙන අනාගත බලාපොරොත්තු ගැනත් අපි අහලා බැලුවා.
“ඇත්තටම බලාපොරොත්තු නම් මහා ගොඩාක් තියෙනවා. ඒ බලාපොරොත්තු හැම එකක්ම වගේ සැබෑකරගන්නයි මට ඕනේ. ඒ අතරේ මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි හොඳ ගායන ශිල්පිනියක් විදිහට සංගීත ක්ෂේත්රයේ හොඳ නමක් තියාගෙන රැඳෙන එක. ඒ වෙනුවෙන් මං උපරිම කැපවෙනවා.”
- රුවන් එස්.සෙනවිරත්න
- ඡායාරූප – චමත් ඒකනායක
- පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ