පාසල් උපකරණවල මිල ඉහළට – 5000කට ගත්ත පොත් ලැයිස්තුවට 15000ක බිලක්
නව පාසල් වාරය ආරම්භයේදී පාසල් ළමුන්ට අවශ්‍ය පොත්පත්, සපත්තු හා නිල ඇඳුම්වල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එම භාණ්ඩ අලෙවි කරන තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසනවා.
ඔවුන් පවසන පරිදි පසුගිය වසරෙහි නව පාසල් වාරයේ දී අවශ්‍ය උපකරණ ලැයිස්තුව රුපියල් 5,000ක පමණ මුදලකට ලබාගැනීමට හැකි වුවත් මේ වසරෙහි එම මුදල රුපියල් 15,000 ඉක්මවනවා.
පිටු 80 කොටුරූල් හා තනිරූල් පොතක් රුපියල් 55 ක්ව පැවති මිල මේ වනවිට රුපියල් 145ක් වනවා.
180ට තිබූ චිත්‍ර පොතක මිල රුපියල් 270ක් වන අතර පිටු 80 CR පොතක් රුපියල් 160 සිට 320 දක්වා මිල වැඩිවී තිබෙනවා.
රුපියල් 10ට තිබූ මකන කැබැල්ල රුපියල් 40ක් වන අතර චිත්‍ර සඳහා භාවිත කරන පැස්ටල් පෙට්ටියක මිල රුපියල් 70 සිට රුපියල් 195ක් දක්වා වැඩි වී තිබෙනවා.
රුපියල් 10ට තිබූ පෑනක මිල රුපියල් 30 දක්වාත් A4 කොළයක් රුපියලේ සිට රුපියල් 10 දක්වාත් වැඩිවී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව බලනවිට පොත්වල පිටු ප්‍රමාණය අනුව මිල ද රුපියල් 100කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.
මේ අයුරින් සෑම පාසල් උපකරණයකම මිල ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම රුපියල් 1,500ට තිබූ සපත්තු යුගලයක් මේ වනවිට රු 3,000 ඉක්මවා ගොස් ඇති අතර පාසල් බෑගයක මිල ද රුපියල් 1,000 සිට රුපියල් 3,000 ඉක්මවා ගොස් තිබෙනවා.