Latest News

ගුරු ඇඳුම වෙනස් කරන අය රටේ සංස්කෘතිය ඉගෙන ගෙන එන්න – අමාත්‍ය විජයදාස රාජපක්ෂ

පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පි.කේ.මායාදුන්න මහතා සඳහන් කලේ, රජයේ කාර්යාලවල සේවය සඳහා පැමිණෙන සේවකයින් සම්බන්ධයෙන් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට එය අදාළ නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් ඊයේ (21) දිනයේ දී ගුරුවරියන් පිරිසක් පහසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත ඡායාරූප නිකුත් කර තිබුණා.

එමෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ගුරුවරුන්ට අදාළ වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළා.

මේ අතර අද පැවති අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදී ඔහු සඳහන් කලේ, මෙවන් අදහසක්.

මාධ්‍යවේදියා :- අපිට ඊයේ අහන්න ලැබුණා ගුරුවරියන්ගේ ඇඳුමේ වෙනස් වීමක් පිළිබඳව ?

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා :- “අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ එක බලවේගයක් තමයි ඉස්සෙල්ලම සංස්කෘතිය විනාශ කරන්න කියලා. සංස්කෘතික හෝදාපාළුව හරහා රටක් විනාශ කරන්න හරි පහසුයි. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව උද්ඝෝෂණයේ කෑගහන වෘත්තීය සමිති නායකයින්ට අපි කියනවා ඉස්සරවෙලා රටේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන ඉවරවෙලා ඊට පස්සේ ඔය වෘත්තීය සමිති කටයුතු කරන්න කියලා.”

වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර :- “මම හිතන්නේ අධ්‍යාපන ඇමතිතුමා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. මොකද ඕන ඕන විදියට පාසල් පද්ධතියේ ඒ සංස්කෘතිය ඒ සදාචාරය හා ඒ පැවැත්ම වෙනස් කරන්න දියයුතු නැහැ.ඒ නිසා ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය අනිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ග ගතයුතුව තිබෙනවා.”