වළං බිඳින නරක ළමයි හෙම නොවෙමු අපී
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
සත්පුරුෂයෝ ඔවුනොවුන් බිඳුණාහුද වහා සමඟියට පැමිණෙති, අඥාණයෝ මැටි බඳුන් බිඳෙන්නාක් මෙන් ඔවුනොවුන් බිඳෙති, නැවත සමගියට නොපැමිණෙති.
ඔය ත්‍රිපිටකයේ බුද්ධ දේශනාවක්. මැටි බඳුනක් බිඳුණයින් පස්සේ ආයේ හා කරන්න බැහැ වගේ නුවණ අඩු මිනිස්සු අතර ඇතිවෙන නොහොඳ නෝක්කාඩු ආයේ පාහින්ට බැහැ කියන එක නොවැ ඔය කියන්නේ. නුවණ අඩු මිනිස්සු නම් අමනාප වුණත් කමක් නැතයි කියමුකෝ. ඒත් ඉතින් වළං බිඳෙන එක?
ඉස්සර ගෙවල්වල දැන් වගේ නොන්ස්ටික් භාජන තිබුණේ නැහැනේ. හැම ගෙදරකම තිබ්බේ මැටි ඇතිලි. මැටි හට්ටියේ ඉදෙන හොද්දට ගහන්න ෆයිව්ස්ටාර් හොටෙල්වලටත් බැහැ නොවෑ.
රස්නෙට තියෙන මැටි හට්ටි බිඳින්නේ නැතිව රෙදි කෑල්ලකින් අල්ලලා දරඬුවෙන් තියන සාස්තරේ අම්මලා, ආත්තම්මලා දන්නවා. හැබැයි උන්දැලාගෙත් අත් එහෙ මෙහෙ නොවුණු වෙලාවල් නැතිව නෙමේ කියලයි ආත්තම්මා කියන්නේ.
හැබැයි රස්නෙ හට්ටි, මුට්ටි, භාජන අල්ලන්න දැන් උන්දැලා නම් බය නැහැ. මොකද දැන් කාලේ කොයි ගෙදරත් ඒ වැඩේට හදාපු පොට් හෝල්ඩර්ස් තියෙනවානේ.
ඒ විතරක් නෙමෙයි මුළුතැන්ගෙයි අලංකාරෙටත් සමහරු මෙව්වා එල්ලනවා. ඉතින් ස්වයං රැකියාවක් විදියට පොට් හෝල්ඩර්ස් හදන හැටි අද බලමු.
ඊජිප්තුව, මෙසපොතේමියාව, චීනය, ඇනටොලියාව වගේ රටවලින් තමයි මුලින්ම ආහාර උයන භාජන හදලා තියෙන්නේ. ඒ මීට අවුරුදු 20000කටත් කලින්ලු. සරලව කියනවා නම් මිනිහා ශීලාචාර වෙච්චි දවස්වල ඉඳලා බඳුන් හදන වැඩේ කරලා තියෙනවා. මිනිස්සු මුල්ම භාජනේ හැදුවේ අලි අඩියකින් කියලත් කියනවා.
ඔන්න මැටි පොළවක අලි පාද සටහනක් තියෙනවා දැකපු ඓතිහාසික මානවයා ඒක සියුම්වට ගලවලා වතුර පුරවලා අලයක් දාලා ගින්දරට ඇල්ලුවලු. ගින්න නිසා ටික වෙලාවකට පස්සේ මැටි අලි කකුල අමුතු පැහැයකට හැරුණලු. පිච්චුවයින් පස්සේ හොඳ හයියකුත් ලැබුණු නිසා මිනිස්සු ඒක කල් තියාගෙන පාවිච්චි කළාලු. ඔය විදියට භාජන පාවිච්චි කරන්න ගත්තු කාලේ ඉඳලාම පොට් හෝල්ඩර්සුත් පාවිච්චි කළාලු. ඒ කාලේ අය පොට් හෝල්ඩර්ස් විදියට පාවිච්චි කරලා තියෙන්නේ කෝටු කෑලි. පස්සේ ලී කොකු පාවිච්චි කරලා. ග්‍රීසියේ කැණීම්වලින් උණුසුම් භාජන අල්ලන්න පාවිච්චි කරපු කොකු හම්බවෙලා තියෙනවා.
අපි දැන් පාවිච්චි කරන රෙදිවලින් හදන පොට් හෝල්ඩර්ස් හදලා තියෙන්නේ 18 වැනි සියවසේදි. ඊටපස්සේ යුරෝපයේ හැම ගෙදරකම මේ පොට් හෝල්ඩර්ස් පාවිච්චි කරන්න අරන්. නත්තල් උත්සවයේ සැරසිල්ලක් විදියටත් ඒ අය මේ අයිතමය පාවිච්චි කරනවා.
ලංකාවේ අපේ ගෙවල්වලත් ගොඩක් අය රෙදිවලින් හදාපු පොට් හෝල්ඩර්ස් පාවිච්චි කරනවා. ඒ නිසා ලස්සනට නිර්මාශීලීව හැදුවොත් ඉල්ලුමක් හදාගන්න අමාරු නැහැ.
අනික මුදලක් ආයෝජන නොකර පටන්ගන්න පුළුවන් ස්වයං රැකියා ගැනත් කීපදෙනෙක්ම අහලා තිබුණා. මේ වැඩේ පටන්ගන්නත් එහෙම ලොකු මුදලක් අවශ්‍ය නැහැ. ගෙදර පාවිච්චි කරලා අයින් කරපු ඇඳුම් මේකට පාවිච්චි කරන්න පුළුවන්. වෙළඳ කලාපවලින් නැත්තම් ඇඳුම් නිර්මාණය කරන තැන්වල අහක දාන රෙදි, පැඩින් කෑලි නොමිලේම ගන්න පුළුවන්.
වර්ණ කිහිපයක රෙදි කෑලිවලට අමතරව කතුරක්, මහන මැෂිමක් නැත්තම් ඉඳිකටු, නූල්, පැඩින් කෑලි කිහිපයක් හොයාගන්න.
පියවර 1
රෙදි කෑලි ටික කැමති විදියට මූට්ටු කරන්න.
පියවර 2
මූට්ටු කරන රෙද්ද දිග අඟල් 10 පළල අඟල් 10 වෙන්න කපාගන්න. ඒ වගේ රෙදි කොටස් දෙකක් හදාගන්න. කපාගන්නකොට හාර්ට්, චතුරස්‍ර, කොළ, මල් ඔය ඕන හැඩයකට කපාගන්න පුළුවන්.
මූට්ටු කරපු රෙදි දෙක මැදට පැඩින් කෑල්ලක් තියලා වටේට පයිපින් කරගන්න. එල්ලන්න ලූප් එකක් දාගන්න .
පොට් හෝල්ඩර් එකක් ප්‍රමිතිය සහ නිර්මාණශීලීත්වය අනුව රුපියල් 250 ඉඳලා අලෙවි කරන්න පුළුවන්. මේ ගැන තවත් විස්තර දැගන්න අවශ්‍ය නම් 0777760400 අංකයට කතා කරන්න.
සෙව්වන්දි හෙට්ටිආරච්චි