සුව දිවිය

ලිංගික අප්‍රාණිකත්වයට ගතේ ලෙඩ විතරක් නෙවෙයි හිතේ ලෙඩත් බලපානවා

ලිංගිකත්වය සම්බන්ධ කාරණා එළිපිට කතා කිරීම මහා අපරාධයක් බවයි තවමත් අපේ සමාජයේ බොහෝදෙනා විශ්වාස කරන්නේ. මේ නිසාම ඊට අදාළ ගැටලු සහ ලෙඩරෝගවලට නිසි පිළියම් ලබාගැනීමට ඔවුන්ට කිසිසේත් අවස්ථාවක් උදාවෙන්නේ නැත. පිළිබඳව කතාබහ නොකිරීම තුළින් නිර්මාණය වන්නේ අතෘප්තියත්, කුතුහලයත් පමණි. මේ නිසා සෞඛ්‍යමත් ලිංගික ජීවිතයක් පවත්වාගෙන යාම සහ ඒ ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීම සඳහා ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාසගේ වෘත්තීය අත්දැකීම් සහ දැනුම ආශ්‍රයෙන් මේ ලිපි මාලාව සම්පාදනය වේ.

නිමාලි හසින්තගේ අත ගත්තේ අනිත් ගෑනු ළමයි වගේම දාහකුත් එකක් බලාපොරොත්තු හිතේ තියාගෙන. හැබැයි මංගල රාත්‍රිය දවසේ හසින්තත් එක්ක අඹු-සැමියන් විදියට එකතු වෙන්න නිමාලිට බැරි වුණා.

ඒ කටයුත්ත ගැන හිතද්දිත් නිමාලිට හොඳටම දාඩිය දාලා ඇඟපත වෙව්ලන්න පටන්ගත්තා. ඒ වගේම රාත්‍රියට සැමියව දකිද්දත් ඇයට දැනුණේ වචනයෙන් විස්තර කරන්න බැරිතරමේ භීතියක්.

නිමාලිගේ පවුලේ උදවියට ගම් පළාතේ අසල්වැසි නිවසක් එක්ක ලොකු ආරෝවක් තිබුණා. ඉතින් මේ ගැන දැනගත්තු හැටියේ නිමාලිගේ අම්මා කිව්වේ ‘‘තක්කෙටම අරුන් මොක්කහරි ගුරුකමක් කරලා ඇති’’ කියලයි.

නිමාලි විතරක් නෙවේ හසින්තත් නිමාලිගේ අම්මා කිව්ව දේ විශ්වාස කළා. අන්තිමට මේ තුන්දෙනා කළේ රට වටේම ඉන්න කපු මහත්තුරු පස්සේ යන එකයි.

ඔය විදියට අවුරදු තුනක් විතර ගත වෙන තැන හසින්ත නිමාලිගෙන් දික්කසාදය ඉල්ලුවා. ඒ වෙනකොට හසින්තට වෙනත් සම්බන්ධයක් තියෙන බව දැනගත්තු නිසා ඔහුට දික්කසාදය දෙන්න නිමාලිත් දෙපාරක් හිතුවේ නැහැ.

තව අවුරුදු දෙකකට පස්සේ පරණ යටගියාව අමතක කරලා නැවතත් විවාහ වෙන්න නිමාලි තීරණය කළා. නිමාලිට කවුරුත් හදිහූනියම් කරලා නැති බවත් ඇයට තියෙන්නේ වැජිනිස්මස් කියන ලිංගික බෙලහීනතාවය බවත් ඇයට තේරුම් කරලා දුන්නේ ඇගේ මිතුරියක්. නිමාලි ලිංගාශ්‍රිත සායනයක උපදෙස් පතන්නේ ඒ අනුව.

ඒ මගේ මතකයේ තියෙන එක සිදුවීමක්. මේ මාතෘකාව පැහැදිලි කරන්න මෑතකදී මට හමුවුණු සමීරගේ කතාවත් කියන්න මම හිතුවා.

කවදාහරි දවසක තමන්ගේ බිරිඳව කායිකව තෘප්තිමත් කරන්න බැරිවෙයි කියන බය සමීරට ඇතිවුණේ නවයොවුන් වියේදිමයි. ඒ වයසේ යාළුවෝ කියපු සමහර කතා සමීරගේ ඒ බය දෙගුණ තෙගුණ වෙන්න හේතු වුණා.

ඔය අතරේ ගෙදරින් ගෙනා යෝජනාවකට එකඟ වෙලා සමිර විවාහ වෙනවා. විවාහයෙන් මුල් දවසේ ඉඳලම සමීර ලිංගික ප්‍රාණිකත්වය පවත්වාගන්න ඖෂධ වර්ගයක් භාවිතා කරනවා. ඒකත් කිසිම රෝග තත්ත්වයක් නැතිව හිතේ සැකේට. සමීරගේ මේ රහස බිරිඳට හෙළිවෙයි කියලා සමීරට ලොකු බයක් තිබුණා. ඒ නිසාම අවසානයේදි ඔහුට විශාදය ඇතිවුණා.

ලිංගික බෙලහීනතාවලින් පීඩා විඳින මේ වගේ උදවිය සායනවලදී නිතරම පාහේ අපට මුණගැහෙනවා. බොහෝදෙනා ලිංගික සෞඛ්‍ය පිළිබඳව තොරතුරු සොයන්නේ රහසින්. නිවැරදි ලිංගික දැනුම හරි විදියට නොලැබෙන නිසා මෙවැනි දේ හිදී ඇතැමුන් වැරදි ප්‍රතිකර්ම ක්‍රම සොයා යනවා. ස්ත්‍රී පුරුෂ ලිංගික බෙලහීනතා සහ ඒවාට ඇති නිවැරදි ප්‍රතිකර්ම ගැන කතා කිරීම වැදගත් වෙන්නේ ඒ නිසයි.

ලිංගික සබඳතා පවත්වන දෙපාර්ශවයේ එක් පුද්ගලයෙකුට හෝ දෙදෙනාටම තෘප්තමත් ලිංගික සබඳතාවක් පවත්වාගැනීමට අපොහොසත් වීම ලිංගික බෙලහීනතාවයක් විදියට හඳුන්වන්න පුුළුවන්.

මුලින්ම අපි කාන්තාවන්ට ඇතිවන ලිංගික බෙලහීනතා ගැන කතා කරමු.

අපේ රටේ කාන්තාවන් අතර දකින්නට ලැබෙන ප්‍රධානම ලිංගික බෙලහීනතාවය තමයි වැජිනිස්මස් (Vaginismus). අපි සංසර්ග භීතිකාව කියලා කියන්තේ මේ ලෙඩේටම තමයි. මෙැතනදි වෙන්නේ සංසර්ගයට සූදානම් වෙද්දී යෝනි මාර්ගයේ අභ්‍යන්තර පේශි තදවෙන එක.

කෙනෙක්ට ලිංගික බෙලහීනතාවයක් ඇතිවෙන්න කායික හේතු වගේම මානසික හේතුත් බලපානවා. මේ වැජිනිස්මස් තත්ත්වයට බොහෝවිට බලපාන්නේ මානසික හේතු.

ලිංගික එක්වීම අසභ්‍ය වැරදිසහගත දෙයක් විදියට සිතීම, කුඩා අවදියේදී ලිංගික අපචාරයකට ලක්වීම, ප්‍රථම ලිංගික එක්වීමේදී අධික වේදනාකරී නැතිනම් අධික රුධිර වහනයක් වෙතැයි බියවීම, ගර්භිණී වීමට ඇති අධික බිය විතරක් නෙමෙයි ලිංගික සංසර්ගය අවහිර කිරීමට විවිධ බන්ධන කර ඇතැයි මනෝමයෙන් සිතීම නිසාත් යෝනි පේශි තදභාවයට පත්වෙන්න පුළුවන්.

ලිංගික ආශාව අඩුවීම කාන්තාවන් තුළ දකින්න ලැබෙන තවත් ලිංගික බෙලහීනතා තත්ත්වයක්. සහකරුවා සමඟ මනා අන්තර් සබඳතාවයක් නැතිකම, විවාහ ජීවිතය තුළ පීඩාවෙන් පසුවීම වගේ හේතුත් හෝර්මෝන ගැටලු සහ ශරීර අභ්‍යන්තර ලෙඩ රෝගත් මේ සඳහා හේතු වීමට ඉඩ තියෙනවා.

බොහෝදෙනා නොදන්නා කරුණක් වුණත් සංසර්ගයේදී ඇතිවන අධික වේදනාවත් කාන්තාවකට ඇතිවෙන ලිංගික බෙලහීනතාවයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ සඳහාත් කායික හේතු වගේම මානසික හේතු කාරණාත් බලපානවා. බොහෝදෙනා සිතන්නේ ලිංගික එක්වීමේදී කාන්තාවකට වේදනාවක් ඇතවීම සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි. ඒත් මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි කියන එක විශේෂයෙන් කියන්න ඕනේ.

සුරාන්තයට පත් නොවීමත් කාන්තාවන් තුළ දකින්න පුළුවන් ලිංගික බෙලහීනතාවයක්. ලිංගික එක්වීමේදී කාන්තාවක් සුරාන්තයට පත්වන බවවත් ඇතැමුන් දන්නෙත් නැහැ. ඒ නිසා කාන්තාව සුරාන්තයට පත් නොවීම ගැන ලිංගික සහකරුවවත් අදාළ කාන්තාවවත් විශේෂ අවධානයක් දක්වන්නේ නැහැ. ඒ නිසා කාන්තාව සුරාන්තයට පත් නොවීම විවාහයක් තුළ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා.

දැන් අපි පුරුෂ පාර්ශවයට අවධානය යොමු කරමු. පුරුෂ පාර්ශවය තුළ අපි දකින ප්‍රධානම ලිංගික බෙලහීනතාවය වෙන්නේ ලිංගික අප්‍රාණිකත්වයයි (Erectile Dysfunction). සංසර්ගයට ප්‍රමාණවත් ලෙස ශිෂ්ණය ප්‍රාණවත් නොවීම හෝ සංසර්ගය අවසන් වනතුරු එය පවත්වාගැනීමට නොහැකි වීම තමයි ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ. මේ ගැටලුව නිසා අදාළ පුද්ගලයා වගේම ලිංගික සහකරුවාත් මානසික අසහනයට, පීඩනයට ලක්වෙන්න ඉඩ තියෙනවා.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු, පිරිමි හෝර්මෝනය හෙවත් ටෙස්ටෙස්ටරෝන් අඩුවීම, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද ගැටලු විතරක් නෙවෙයි දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතයත් මේ තත්ත්වයට හේතු වෙන්න පුළුවන්.

සහකාරිය සමඟ අන්තර් සබඳතාවය ශක්තිමත් නැති අවස්ථාවලදී කෙනෙක් ලිංගික අප්‍රාණිකත්වයට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මම උදාහරණයට ගත්ත සමීර වගේ ලිංගිකත්වය ගැන අනවශ්‍ය පීඩනයක්, භීතියක් ඇති කරගත්විටත් ලිංගික අප්‍රාණිකත්වයක් මතුවෙන්න පුළුවන්.

ඊට අමතරව ක්ෂණික මෝචනය, ලිංගික ආශාව අවම වීම, ශුක්‍රාණු ප්‍රමාද වීම වගේ ගැටලුත් පුරුෂයන්ට ඇතිවෙන්න පුළුවන් ලිංගික බෙලහීනතා.

අපි ඉහතින් කතා කළ ලිංගික බෙලහීනතා තත්ත්වයන් සියල්ලටම පාහේ සාර්ථක ප්‍රතිකර්ම තිබෙනවා.

ඒත් නොදැනුවත්බව නිසාදෝ බොහෝ පිරිමින් කරන්නේ ඒ මොහොතේ ප්‍රාණවත් බව පවත්වාගැනීමට තාවකාලික ඖෂධ භාවිතා කරන එක. හෘද ගැටලු තියෙන​ කෙනෙක් මේ ඖෂධ භාවිතා කරන එක මාරාන්තික වෙන්නත් පුළුවන්.

ඒ වගේම කාන්තා ලිංගික බෙලහීතාවලට අනිසි ප්‍රතිකාර කරන්න ගිහින් අතවරවලට ලක්වුණු යුවතියන් පවා අපට හමුවී තිබෙනවා.

ලිංගික බෙලහීතාවයකට ප්‍රතිකාර කරද්දී බෙලහීනතාවයට හේතු මූලය හෙයාගන්න එක ඉතාම වැදගත්. තත්ත්වය ඇති වී තිබෙන්නේ මානසික හේතු නිසා නම් යම් යම් මනෝ ලිංගික චිකිත්සක ක්‍රම මගින් තත්ත්වය සුවපත් කරන්න පුළුවන්. කාරණාව ගැන පහදාදීම, ලිංගික චිකිත්සාව (Sex Therapy) සහ වෙනත් යම්යම් ක්‍රියාකාරකම් එහිදී සිද්ධ කරනවා.

දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය නැතිනම් හෝර්මෝන ගැටලු මත ගැටලුව ඇති වී තිබෙනවා නම් මුලින්ම එම රෝග තත්ත්වයට ප්‍රතිකර සිදු කරනවා.

ඉතින් කෙනෙකුගේ සබඳතාවයක් ඇතුළේ ලිංගික සහකරුවාට හරි සහකාරියට හරි යම් ලිංගික බෙලහීනතාවයක් තිබෙනවා නම් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස විඳදරාගෙන ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. එවැනි දෙයින් පවුල් සංස්ථාව බිඳවැටෙන්න විතරක් නෙමෙයි ලිංගාශ්‍රිත රෝග වැඩිවීම, අපචාර ක්‍රියා වැඩිවීම වගේ අපි නොහිතන ගැටලු පවා ඇතිවෙන්න ඉඩ තිබෙනවා.

පවුලක් ඇතුළේ අඩදබර, හිංසනය, සැකය වගේ දේවල් තියෙනවා නම් දෙදෙනාටම නැති නම් එක් අයෙකුට ලිංගික බෙලහීනතාවයක් ඇතිවෙන්න අවධානමක් තියෙන බව මම කිව්වා. ඒ නිසා නිතරම දෙදෙනා අතර ශක්තිමත් අන්තර් සබඳතාවයක් පවත්වගන්න උත්සාහ කරන්න කියන එක අවසාන වශයෙන් කියන්නම ඕනේ.

ප්‍රගීත් ප්‍රේමදාස

ලිංගික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍ය

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි