විශේෂාංග

හයක් හතරක් නොතේරෙන දරුවන්ට අවුරුද්දෙ නැතිබැරිකම් දැනෙන්න දෙන්න එපා

ඉස්සර වගේ නෙවෙයි මං වෙනස් වෙලා කියලා මටම දැනෙන තැන්වලදී පොඩි සතුටකින් හිත පිරෙනවා. හිත කළකිරවන සිද්ධියක වුණත් හොඳක් හොයාගෙන හිත සන්සුන් කරගන්න තරමට පරිණත වෙලා කියලා දැනෙනකොට සතුට වැඩියි. ගෑනු අපි ගොඩක්ම පරිණත වෙන්නේ පොතපත ආශ්‍රයෙන් නෙවෙයි, ජීවිතේ ලැබෙන අත්දැකීම්වලින්. සමහර අත්දැකීම් මතක් කරන එක පවා වේදනාකාරී වුණත්, ඒවාගෙන් ඉගෙනගත්ත පාඩම්වල වටිනාකම, අපිව කොයිතරම් දුරට පරිණත කරනවද, ඉදිරිය ගැන හිතන්න පොඹවනවද කියලා අපිටම දැනෙනවා. ඒ නිසා පුංචි දේවල් ලොකු කරගන්නේ නැතුව ඒ දේවල් දිහා සාධරණ විදියට බලලා, සතුට හොයාගත්ත අවස්ථා දැන් මගේ ජීවිතේ වැඩියි. මේ ලියන්නෙත් එහෙම එකක් ගැන.

මේ සැරේ අප්‍රේල් අවුරුද්ද ගිය පාර අවුරුද්දට වඩා හොඳට සමරන්න මං ආසාවෙන් හිටියේ අවුරුද්දෙ මුල ඉඳන්. බතික් ඇඳුම් අපි පස්දෙනාටම ගෙන්න ගන්න මං හිතින් සැලසුම් කළා. ගිය අවුරුද්දේ හැදුවාට වඩා අලුත් කැවිලි ජාති ටිකක් හදන්නත් ආසාවෙන් හිටියා.

ඔය අතරෙ දහම් එක්ක කතා කර කර හිටපු වෙලාවක එයා කිව්වා පහුගිය ටිකේ ගෙදර වියදම් සැර වුණ නිසා අප්‍රේල් මාසේ වියදම් පරිස්සමින් කරන්න ඕන කියලා. දහම් එහෙම කියද්දි මගේ සැලසුම් ටිකක් බොඳවෙලා යනවා වගේ දැනුණා. ඒත් කෝකටත් කියලා මං කරන්න හිතන් ඉඳපු දේවල් ටික එයා එක්ක කියද්දී, පොඩ්ඩක් සැරට වගේ කිව්වා ‘‘හැමදේම කරන්න බෑ. ඇයි තේරුම් ගන්න බැරි? අප්‍රේල් දරුවෝ ඉස්කෝලේ අලුත් වසරට යනවා. ඒවට ඕන කරන දේවල් ගන්න ඕනේ. ගොඩක් වැඩ තියෙනවා’’ කියලා.

දහම් ඒක කිව්ව විදියට මගේ හිත පොඩ්ඩක් රිදුණත්, ඉස්සර වගේ අඬාගෙන දොඩාගෙන ඒවාට එකට එක කියාගෙන යන පුරුද්දක් දැන් මට නෑ. ඒ නිසා මං සද්ද නොකර අහන් ඉඳලා, තනියම හිතලා බැලුවා. අමාරුම නැත්තම් දහම් මට කවදාවත් මෙහෙම කියන්නේ නෑ කියලා මං දන්නවා. මං හිතන්නෙ දහම් වගේම තමන්ගෙ පවුලට අංක එක දීපු කිසිම මහත්තයෙක් අමාරුම වෙලාවක නෙවෙයිනම් එහෙම කියන්නෙ නෑ. ඉතින් ඒ විදියට මං හොඳ පැත්තට හේතු හොයද්දී එයාම මං ළඟට ඇවිත් කිව්වා, ‘‘රෝසි අමාරු වෙලාවට අපිට නැතුව ජීවත් වෙන්න පුළුවන් දේවල් ගැන නොහිතා ඉමු. අපි පස්දෙනාටම එක වගේ බතික් ඇඳුම් තිබුණේ නෑ කියලා අපිට අවුරුදු සමරන්න බැරිකමක් නෑනේ. අනික අවුරුදු කියන්නේ පුළුවන් තරම් වියදම් කරලා සමරන්න ඕන දෙයක් නෙවෙයි. තමන්ට පුළුවන් විදියට තියෙන දෙයින් කැවිලි ටිකක් හදලා, එක මේසේ කට්ටිය ඉඳගෙන නැකතකට කෑම කාලා, වැඩ අල්ලලා, ගණුදෙනු කරන එකනේ. ඒකට ලොකුවට ලෑස්ති වෙලා අවුරුදු මාසේ අනිත් දවස් ටික අමාරුවෙන් ගෙවන්නේ මොකටද? ඔයා දරුවෝ සතුටු කරන්නයි මේ දේවල් කරන්නේ කියලා දන්නවා. ඒත් අපි ඒ දේ කරන්න ඕනේ අපිට පුළුවන් විදියට. අපි අවුරුදු සැමරන්න ලෑස්ති වුණාට ජපානෙට අවුරුදු නෑනෙ. 14 සාමාන්‍ය දවසක්. ඒ නිසා අපි අපිට පුළුවන් දේ කරලා ඒ දවස ලස්සන කරගමු. ඉස්කෝලේ පටන් ගන්න නිසා දරුවන්ට ගන්න තව ගොඩක් දේවල් තියනවානේ’’ කියලා ගොඩක් ආදරෙන් මට කිව්වා.

මං ජපානේ ජීවත් වුණත්, හිතින් ජීවත් වෙන්නේ ලංකාවේ. අපේ ඒ අවුරුදු අත්දැකීම මගේ දරුවන්ට දීලා, හදන කැවිලි ටිකක් ගේ අවට ජපන් මිතුරියන්ට දීලා අපේ කැවිලිවල රස දැනෙන්න දෙන්නත් මං ආසයි. ඒකෙන් මං අලුත් කරගන්නේ පුංචි කාලේ මතක. නැකතට කිරි උතුරලා, මේසෙම පුරවපු කිරිබත් කැවිලි එක්ක, කෑම මේසේ පොල්තෙල් පහන මුලින්ම පත්තු කරන්නේ තාත්තා. ඊටපස්සේ අපිටත් පත්තු කරන්න දීලා, මුල් කිරිබත් කට තාත්තා අම්මාට කවනවා. ඊළඟට මටයි අයියටයි කවනවා. අම්මා තාත්තාට බුලත් දීලා වඳිනවා. ඒකම අපිත් කරනවා. ඊටපස්සේ කැවිලි පිඟන් අරන් සිංහල ගෙවල්වලට විතරක් නෙවෙයි හින්දු, මුස්ලිම් හැම ගේකටම කැවිලි බෙදනවා. මේක ලියද්දී මගේ ඇස් ඉස්සරහා ඒ සුන්දර අතීතේ මැවෙනවා. ඒ දේවල් ඒ විදියටම මෙහේ කරන්න බැරි වුණත් පුළුවන් විදියට කරලා දරුවන්ට සුන්දර මතක එකතු කරන ආසාවක් මට තියෙනවා.

ලංකාවේ දැන් පවතින තත්ත්වය එක්ක, අවුරුදු සමරන්න තිබ්බ ආසාව පොඩ්ඩක් අඩු වුණා. ඒත් ඒ කිසිම දෙයක් නොදන්න මගේ දරුවෝ වෙනුවෙන්, පුංචියට හරි කෑම මේසයක් ලෑස්ති කරන එක අනිවාර්යයෙන්ම මම කරනවා. අපිට ලංකාවට ඇවිත් දරුවෝ එක්ක අවුරුදු සමරන්න බෑ. ඒ දරුවන්ගේ පළමු පාසල් වාරය හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ වසන්‍ත කාලයේ නිවාඩුවෙන් පස්සේ පටන් ගන්න නිසා.

ඇත්තටම අන්තිම සතේට හිඳෙනකම්ම වියදම් කරලා සමරන එකට නෙවෙයි අවුරුදු කියන්නේ. ඒ දේ මේ අවුරුද්දට විතරක්ම නෙවෙයි හැම අවුරුද්දකටම වැදගත් කියලා මට හිතුණා.

පහුගිය අවුරුදු දෙකේම කොරෝනා වංසගතය නිසා අපි කාටත් හිතේ හැටියට අවුරුදු සමරගන්න බැරිවුණා. මේ අවුරුද්දෙ ලංකාවේ ඉන්න අයට හිතෙන්න පුළුවන් එදාවේල කන්න බොන්න කීයක්හරි හොයාගන්න අමාරු වෙච්ච එකේ, ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වල ඉන්න ගමන් මොන අවුරුදුද කියලා. හැබැයි මගේ නම් ඉල්ලීම, හයක් හතරක් නොදන්න දරුවන්ට මේ අවුරුද්දෙත් ඒ නැතිබැරිකම් දැනෙන්න දෙන්න එපා කියන එක. අපේ අමාරුකම්, අපේ නැතිබැරිකම් ගැන අපි දරුවන්ට තේරුම් කරන්න ඕන තමයි. ඒත් සිංහල අලුත් අවුරුද්ද ඒකට වෙලාව නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.

මම ගත්තොත්, මම දැන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. මගේ දරුවෝ ලංකාවේ අවුරුදු සමරන හැටි දැකලත් නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑනේ කියලා හිතලා අවුරුද්ද සමරන්නෙ නැතුව ඉන්න කාරණා ඕනතරම් හොයාගන්න පුළුවන්. හැබැයි අදටත් මට ඒ චාරිත්‍ර වාරිත්‍ර අමතක කරන්න බැරිවෙලා තියෙන්නෙ ඒ කාලේ අපේ අම්මලා, තාත්තලා අඩුවක් පාඩුවක් නැතුව අවුරුදු සමරපු නිසා සහ අපිට ඒවයේ වටිනාකම් කියලා දීපු නිසා. ඒ නිසා මේක සමරන්නෙ නැතුව ඉන්න කාරණා දාහක් තිබුණත් එක හේතුවක් හරි හොයාගෙන පුංචියට හරි අවුරුදු සමරන්න. මොකද අපි නිදහසට කාරණා කිය කියා තවත් අවුරුදු දෙක තුනක් මේක සමරන්නෙ නැතුව අමතක කරලා දැම්මොත්, අපි අපේ දරුවන්ට අමතක කරවන්නෙ අපේ මහ සංස්කෘතියේ කොටසක් කියන එකත් අපිට පිළිගන්න වෙනවා.

හෂිණි මනමේන්ද්‍ර