විශේෂාංග

බුදු හාමුදුරුවො කිව්වට අපිට ගෑනු දිහා නොබලා ඉන්න බෑ

ස්ත්‍රියක් විදියට උප්පත්තිය ලැබීම පවක් ද පිනක් ද කියන එක ගැන බොහෝදෙනා මේ යුගයේ කතා කරන්න ගත්තේ මහමෙව්නා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවක ඛණ්ඩයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙන්න ගත්තට පස්සේ. දෙමව්පියෝ පෙර ආත්මවල බොරු කියපු එකේ ප්‍රතිඵලයක් විදියටයි දුවලා ඉපදෙන්නේ කියලා කරපු දේශනා පාඨය නිසා බොහෝදෙනෙක් උන්වහන්සේව විවේචනය කළා. ධර්ම කාරණාවක් විදියට ගත්තොත් ඒකේ සත්‍ය අසත්‍යතාවය ගැන කියන්න අවබෝධයක් නැතත් ගිහියන් ඒ විදියට භික්ෂුවක් විවේචනය කිරීම සුදුසු නෑ කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. කොහොම නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ස්ත්‍රියට කවදාවත් අංකොන් කරපු බවක් නම් අපි අහලා නෑ. ඒ නිසා මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්නත් එක්ක උමන්දාව විහාරාධිපති සිරි සමන්තභද්‍ර හිමියන් සමඟ සංවාදයක් කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ සංවාදයේ සටහනයි මේ.

*අපේ හාමුදුරුවනේ එක්තරා අවස්ථාවකදී  භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අවවාද කළා ආනන්ද, ගැහැනු නම් නොදකින තරමට හොයි කියලා. පැවිද්දෙක් විදිහට ඔබ වහන්සේ හිතන්නෙත් එහෙමද?

ඒ කියන විදියටනම් භික්ෂුවට සිද්ධ වෙනවා කාන්තාවන්ට පන්සල්වල පැත්ත පළාතෙවත් එන්න එපා කියන්න. ඒක මානුෂීයද? සාධාරණද? අපි මේ ජීවත් වෙන්නේ එදාට වඩා දියුණු සමාජයක. ඒ දියුණු සමාජයේ ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්නවා. ගෙදර කුස්සියේ ඉඳලා රටවල් පාලනය කරන මහ පුටුවට යනකන් හැමතැනකම ගැහැනිය ඉන්නවා. ඒ නිසා මෙතැනදී සිද්ධ වෙන්න ඕන භික්ෂූන් වහන්සේලා විදියට අපි ඒ අයත් එක්ක ජීවත් වෙන විදිය තේරුම්ගන්න එක. භික්ෂුවකගේ හිත පිරිසිදු නම්, ශක්තිමත් නම්, ඕන කෙනෙක්ව ආශ්‍රය කළ යුතු සීමාව දන්නවා නම් මොකද්ද එතැන තියෙන ප්‍රශ්නේ? අනික කෙනෙකුට තවත් කෙනෙක් එක්ක බැඳීමක් ඇති වෙන්නෙම හිත දුර්වල නිසා. එතකොට මේ ගිහි බන්ධන අතෑරලා දාල චීවරේ දරන්න ආපු කෙනෙක්ගේ හිතක් කම්බායක් ඉස්සරහ දුර්වල වෙන්න බෑනේ. ඒ නිසා භික්ෂුවක් කරන්න ඕන තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඉන්න එක මිසක් කාන්තාව ප්‍රතික්ශේප කරන එක නෙවෙයි. ප්‍රතික්ශේප කරනවා කියන්නෙම භික්ෂුව දුර්වලයි කියන එක.

 

*ඔබ වහන්සේ දැන් කියන්නේ බුදුන් දේශනා කරපු ධර්මය දියුණු සමාජයට පරණ වැඩියි කියලද?

ඒකට මං මේ කියන කතාව හොඳට අහගන්න. මේ කතාව හරි ප්‍රසිද්ධයි. අර හාමුදුරු දෙනමක් මග වඩිනකොට වතුර තියෙන තැනකින් එගොඩ වෙන්න බැරුව හිටපු කාන්තාවක් මුණගැහුනා කියනවනේ. පස්සෙ අර දෙනමගෙන් එක්කෙනෙක් කාන්තාව කරේ තියාගෙන එගොඩට ගෙනත් තියලා, යන්න ආපු ගමන ගියා. ඕකට අකමැති වුණ අනික් භික්ෂුව, අර කාන්තාව කරේ තියාගෙන වැඩිය භික්ෂුවට බණින්න පටන්ගත්තම අර භික්ෂුව කිව්වා, “මම ඒ කාන්තාව ගඟෙන් එතෙර කරලා බිම තියලා ආවා, ඒත් ඔබ වහන්සේ තාමත් ඇයව කරේ තියාගෙන ඉන්නවානෙ” කියලා. ඒක නිසා තේරුම්ගන්න ගොඩක් දේවල් අපිට ප්‍රශ්නයක් වෙන්නෙම ඒවා දිහා මේ සාම්ප්‍රදායික කණ්ණාඩි කුට්ටම දාගෙන බැලුවම. අපි ඕනෑවට වඩා ගතානුගතික වෙන්න අවශ්‍යත් නෑ. නිකමට හරි අපි මේවා ගිහිල්ලා යුරෝපීය සමාජයේ මිනිස්සු ඉස්සරහ කිව්වොත් ඒ මිනිස්සු බලයි අපි ගෝත්‍රිකයොද කියලා. අන්න ඒ නිසා තේරුම්ගන්න අනවශ්‍ය හිතවත්කම්, බැඳීම් හදාගන්නෙ නැතුව අතේ දුරින් ඕනෑම කෙනෙක්ව ආශ්‍රය කරන්න තරම් අපි ප්‍රබුද්ධ වෙන්න ඕන කියලා. භික්ෂුවක් ඕනෑම කාන්තාවක්ව තමන්ගේ අම්මා, සහෝදරියක් වගේ කියලා හිතින් හිතාගත්තම ප්‍රශ්නෙ ඉවරනේ.

 

*හැබැයි බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා නේද භික්ෂුවක් තමන්ගේ අම්මා එක්කවත් තනියම ඉගෙන කතා කිරීම අකැපයි කියලා?

ඒ බුදු හාමුදුරුවොම තමයි භික්ෂුවට කිව්වේ තමන්ගේ දෙමව්පියන්ට කන්න නැත්තම් පිණ්ඩපාතේ වැඩලා හරි දානේ ගෙනැල්ලා දෙන්න කියලා. ඒ නිසා මේ ඔක්කොම ධර්ම කරුණු කියවලා නිගමනයකට එන්න බලනවා මිසක් අපි අඳුරේ අතපත ගාන්න හොඳ නෑ. අනිත් එක ඕනවට වඩා හිතවත්කම් අම්ම එක්ක නෙවෙයි කාත් එක්කවත් ඕනේ නෑ. මට නම් කියන්න තියෙන්නේ ඔය ඕනෑවට වඩා සිල් පෙන්නන අයම තමයි සිල් කඩන්නෙ කියලත්.

 

*පහුගිය දවසක දුවලා ඉපදෙන්නෙ බොරු කිව්වම කියලා මහමෙව්නා අසපුවාසී හිමි නමක් දේශනා කරපු ධර්ම කණ්ඩයක් අල්ලාගෙන සෑහෙන පිරිසක් උන්වහන්සේව විවේචනයට ලක්කළා. ඒ ගැන ඔබ වහන්සේගේ අදහස මොකද්ද?

ඇත්තටම උන්වහන්සේ බණ කියන්නේ දහමක් ගැන, ලෝකයක් ගැන දැනුමක් නැතුව. ඇත්තටම උන්වහන්සේලා වගේ අය හොඳ නුවර යුගයේ, මීට අවුරුදු හත්සීයකට විතර කලින් තිබුණ සමාජෙට බණ කියන්න. මෙච්චර මේ දියුණු සමාජයකට උන්වහන්සේලා වගේ අය බණ කියන්න ගිහාම වෙන්නේ ඒ බණ අහන එවුන් මෝඩයෝ වෙන එක. අනික ඊටපස්සෙ සමාජය ඒවා ප්‍රතික්ශේප කරන්න ගියාම ධර්මය විහිළුවක් වෙන එක. ඇත්තටම තේරෙන සුද්ධ සිංහලෙන්ම කිව්වොත් ඒ කතාව අහලා ඒක බණ කියලා හිතන එවුන් අමු මීහරක්. ඒ නිසා උන්වහන්සේලා දැනගන්න ඕන එහෙම බණ කියන්න කලින් ඒවා තමන්ගේ ගුරුවරුන්ගෙන් අහලා සමාජ භාවිතය ගැන අහලා කියන්න.

ඔන්න ඔය වගේ ඒවට තමයි මං කලින්ම කිව්වෙ ගෝත්‍රික කතා කියලා. බුදු දහම ඇතුළේ කොහේවත්  ස්ත්‍රිය පුරුෂයා කියලා වෙනසක් කරලා නෑ. පුරුෂයාට තියෙන්නේ යම් තැනක්ද, ස්ත්‍රියටත් ඒ තැනම තියෙනවා. නමුත් බුදු දහම පහල වුණේ බ්‍රාහ්මණ ගෝත්‍රික සමාජයක. ඒ සමාජයේ ස්ත්‍රියට සම තැන ලබලා දෙන්න බුදු හාමුදුරුවෝ කොයිතරම් සටන් කරාද? ඒක නිසා මට කියන්න තියෙන්නේ එතැන තියෙන්නේ උන්වහන්සේගේ උගත්කමේ ප්‍රශ්නයක් මිසක බණේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා.

 

*ඔබ වහන්සේ මහමෙව්නාව එක්ක තරහා නිසාද ඔහොම කියන්නේ?

දැන් එතකොට අර උන්වහන්සේට ලක්ෂ ගාණක් මිනිස්සු චෝදනා කළේ මහමෙව්නාවත් එක්ක තරහටද? මෙහෙමයි, ගොන් කතා කිව්වම ඒ ගොන් කතාව සාධාරණීකරණය කරගන්න තව හේතු ගෙනැල්ලා වැඩක් නෑ. ඒක ගොන් නම් මම කිව්වා නැතා ඒක ගොන්ම තමයි.

මහමෙව්නාවත් එක්ක අපේ කිසිම තරහක් නෑ. තියෙන්නේ මතවාදී ගැටුමක් විතරයි. අනිත් පැත්තෙන් අපේ ඒ ගැටුම තියෙන්නේ මහමෙව්නාවත් එක්ක නෙවෙයි. මෝඩයෝ සහ බුද්ධිමතුන් එක්ක. ඒ දාර්ශනික මතවාදය සමාජෙකට අවශ්‍යයි. නැත්තම් යම් දෙයක හරි වැරැද්ද සමාජෙට තේරුම් යන්නේ කොහොමද? අනික ඒ කාලේ පොත්වල තිබුණ සමාජ මතවාද සේරම බුදු බණ වශයෙන් කියනවා කියන්නේ ඊටත් වඩා මෝඩකමක් තියෙනවද? කිවයුතු දේ මොකද්ද, නොකිව යුතු දේ මොකද්ද කියලා තේරුම්ගන්න බැරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහොමද බණ කියන්නේ? ඕකෙන්ම තේරෙනවනේ බණ කියනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි කියලා.

උන්වහන්සේගේ ඒ දේශනාව තුළින් සමස්ත මහමෙව්නාවම ප්‍රතික්ශේප වුණා. ඉදිරියටත් ප්‍රතික්ශේප වෙනවා. ඉතින් මං කියන්නේ උන්වහන්සේට එක්කෝ බණ කියන්න කලින් ආපහු ඉගෙනගන්න. නැත්තම් අඩුම තරමේ අන්තර්ජාලයෙන්වත් හොයලා බලන්න. එහෙම නැති වුණොත් ඉදිරියේදි මිනිස්සුන්ට හිනාවෙන්න වෙන විහිලු ඕනේ නැතිවෙයි.

 

*අපේ හාමුදුරුවනේ දැන් තියෙන සිල්මාතා ආරාමවලත් හරියට රණ්ඩු සරුවල්. ඇත්තටම ගොඩක් වෙලාවට ඒ අයගේ මහණකමටත් ඉහළින් ගෑනුකම මතු වෙලාදෝ කියලා අපිට හිතෙනවා. ඒ නිසා දැන් තියෙන සිල්මාතා අරාම ගැනයි, භික්ෂුණීන් වහන්සේලා ගැනයි මොකද කියන්න තියෙන්නේ?

මෙහෙමයි, ඕකට මුලින්ම කියන්න තියෙන්නේ ඉතින් ‘ගෑනුනේ’ කියලා තමයි. කොහොමටත් කාන්තාවෝ හය හත්දෙනෙක් එක තැනක ඉන්නවා කියන්නේ එතැන දවසකට රණ්ඩු හතළිහක් පනහක්වත් බේරන්න වෙනවා. ඒකට ඉතින් මහණකම වැඩකුත් නෑ. ආගමයි ජාතියයි වැඩකුත් නෑ. අනිත් පැත්තෙන් කාන්තාවට රටේ අගමැති, ජනාධිපති වෙන්න පුළුවන් නම් මහණ වෙන්නත් පුළුවන්. එයාලටත් විමුක්තිය හදාගන්න නිදහස තියෙන්න ඕන. එයාලා කැමති කෙනෙකුට සිල් මාතාවක් වෙන්නත්, භික්ෂුණියක් වෙන්නත් බුදු දහම ඇතුළේ ඇයටත් පිරිමියාට වගේම අඩුවක් නැතුව නිදහස හිමිවෙලා තියෙනවා.

 

*ඔබ වහන්සේ ගෑනුනේ කිව්වට භික්ෂුණියක් වුණහම හික්මීමක් විනයක් අවශ්‍ය වෙන්නේ නැද්ද? භික්ෂුණියක් වෙන එකේ තේරුම රණ්ඩු වෙවී ඉන්න එකද?

ඒ ඔයගොල්ලො  හිතන විදියනේ. භික්ෂුණිය වුණත් කාන්තාවක්නේ. ඒක ඉතින් සාමාන්‍ය සමාජ කාරණාවක්. නමුත් ඒ රණ්ඩු සරුවල් අපිත් දකිනවා. ඒක ඇත්තක්. ඉතිත් අපි ඒක කියලා හදාගන්න වගේම ගැටුම් අවම කරගන්නත් බලනවා. මං හිතන්නේ ඕකට ලොකුම හේතුව කාන්තාවන්ට අධ්‍යාත්මීය මගපෙන්වීම මදිකම. ඒක නිසා අපි ඒවා පුළුපුළුවන් විදියට විසඳලා දෙන්න බලනවා.

 

*දැන් රටේ මෙච්චර යශෝදරා මහරහත් මෙහෙණින්වහන්සේ ගැන බණ කියනවනේ. හැබැයි අපිට අහන්න ලැබෙන්නෙම ස්වාමියා ඉක්මවලා යන බිරින්දෑවරු ගැන. ඔබ වහන්සේ හිතන්නේ එක්කො මේ කියන බණ කනකට ගන්නේ නැද්ද? නැත්නම් අද සමාජය යශෝදරාවත් විහිළුවකට අරගෙනද?

යශෝදරා කියන්නේ අවුරුදු දාස් ගාණකට කලින් ජීවත් වුණ කාන්තාවක්. ඉතින් ඇය හොඳයි. නමුත් ටිකක් හිතන්නකෝ අද සමාජයට ඇයව ඕනෑවට වඩා ගලපන්න බෑනේ. අනික යශෝදරාව වගේ අපේ කාන්තාව ජීවත් වෙන්න හදන්න ඕනැද? අනික ඒක එහෙම වුණත් අද සමාජයේ සිද්ධාර්ථලා ඉන්නවද? අපේ කාන්තාව ඒකෙන් ගන්න ඕන ආදර්ශය අරගෙන අපේ විදියට හිටියම ඇති. එහෙම නැතුව යශෝදරාගෙවත්, ප්‍රජාපතීගෙවත්, ඛේමාගෙවත් මොඩ්ල් එකක් වෙන්න අවශ්‍ය  නෑ. සමාජයයි, ලෝකයයි අඳුරගෙන ගැටුම් නැතුව ජීවත් වෙන්න ඒ චරිතවලින් ආදර්ශ ගත්තම හොඳටම ඇති.

 

*යශෝදරා රහත් මෙහෙණින් වහන්නේ පිරිණිවන් පෑවට පස්සේ බුදු හාමුදුරුවො දේහය පිටිපස්සෙන් චිතකය දක්වා වැඩියා කියන කතාව ඇත්තක්ද?

ඇත්තටම ඒක නෙවෙයි. බුදුහාමුදුරුවො අවසන් ගෞරව දක්වන්න වැඩම කළේ ප්‍රජාපතී දේවියගේ දේහය පිටුපසින්. ඒකත් වුණේ බුදුන් වුණත් සමාජ සම්මතය ඉක්මවන්න බැරිකම නිසා. මොකද බුදු හාමුදුරුවෝ සියල්ල ඇතෑරියට ලෝකේ සියල්ල අතෑරලා නෑනෙ. එතකොට බුදුන්ට වුණත් සමාජ සම්මතවල ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒකත්  සමහරු වැරදියට අල්ලනනවා බුදුන් සියල්ල අත්හැරියා නම් එහෙම මොකද කියලා. දැන් මම වුණත් පන්සලට වෙලා ලොකු දාර්ශනික කතා කියව කියව ඉඳලා වැඩක් නෑනේ හෙට අනිද්දාට ලොකු ආහාර අර්බුදයක් ආවොත්. එතකොට අපි මිනිස්සුට වගා කරගන්න හැටි වගේම අනෙකුත් දේවල් කරගන්නත් උදව් උපදෙස් දෙන්නට ඕනේ. ඒ වගේ දෙයක් තමයි එදා බුදු හාමුදුරුවොත් කළේ. තමන්ට කිරි ටික දීලා හදා වඩාගත්ත සුළු මවට අවසන් ගෞරව කළා. අනික ඒකයි බුද්ධත්වයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. බුදු හාමුදුරුවන්ගේ බුද්ධත්වය වෙනයි. ප්‍රජාපතීට ගෞරව දැක්වීම වෙනයි.

 

*අද කාලේ ගොඩක් පවුල් ජීවිත ගත කරන කාන්තාවෝ වගේම තනිකඩව ඉන්න අයත් ගොඩක් වෙලවට ඒ අයගේ සීමාවල් ඉක්මවලා. පවුල් ජීවිත ගතකරන කාන්තාවන්ට ඔබ වහන්සේ දෙන අවවාදය මොකද්ද?

ඉතින් ඒක මේ සමාජයේ විදියනේ. අපි මොකටද ඒවට කලබල වෙන්නේ? එහෙම අවශ්‍ය නෑ. අනික ලෝකේ විදියයි, සමාජයේ යථාර්ථයයි තේරුම්ගත්ත අය ඒවට කලබල වෙන්නෙත් නෑ. අපි හැමතිස්සෙම රියැලිටි එක ගැනයි කතා කරන්නට ඕනේ. ඒක මේ ලෝකෙයි සමාජෙයි හැටි කියලා තේරුම්ගන්නයි ඕන කරන්නේ.

 

*ඔබවහන්සේ කියන විදියට ධර්මය කියන්නේ රියැලිටි එකේම යන්න දීලා බලාගෙන ඉන්න එකද? ධර්මානුකූලව ඒවා නිවැරදි කරලා යහමාර්ගයට ගන්න අවශ්‍ය නැද්ද?

ඉතින් ලෝකේ ඇත්ත ඒක නම් අපි බොරුවට කෘත්‍රිම ලෝකවලයි, කෘත්‍රිම ධර්ම කාරණාවලයි හිරවීගෙන ඉඳලා වැඩක් තියෙනවද? අපි ප්‍රායෝගික ලෝකේ ජීවත්වෙන එක තමයි ගොඩක් ලස්සන.

 

*ඔබ වහන්සේ කියන්නේ ධර්ම කාරණාවලින් වැඩක් නෑ කියලා?

එහෙම නෙවෙයි. ධර්ම කාරණා ජීවිතවලට බද්ධ වෙන්න කලින් ඒක අද සමාජයට බද්ධ කරන් ඉන්න ඕන. ඒකට ඉතින් විවෘතව සංවාද කරන්න ඕනේ. සංවාද කරන්නේ නැතුව ගෙඩි පිටින් පිළිගත්තම තමයි අර මහමෙව්නාවේ හාමුදුරුවන්ට වුණා වගේ දේවල් වෙන්නේ. මම කියන්නේ කිසිම ආගමික පතපොතක් ගෙඩිය පිටින් පිළිගන්න ඕනෙ නෑ. ඒවායේ තියෙන දේවල් විශ්ලේෂණය කළොත් තමයි පවුල් ජීවිත ගෙවන, තනිකඩව ඉන්න ගෑනු උදවියට වගේම අනිත් අයටත් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඇයි අපි මෙච්චර මේ දියුණු සමාජයක තියෙන දැනුම ගන්නේ නැතුව අවුරුදු තුන්හාරදාහක් පරණ දේවල් පස්සෙන් දුවන්නේ?

 

*හැබැයි ධර්මය අකාලිකයි නේ. එතකොට ධර්ම කාරණා කාලීන අවශ්‍යතාවල හැටියට වෙනස් කරන්න බැහැ නේද?

ධර්මය අකාලිකයි තමයි. ඒක වෙනස් කරන්න බෑ. නමුත් ඒ ධර්මයේ තියෙන ජාතක කතා, අටුවා කතා, ජන විශ්වාස ඉස්සරහට අරන් ජීවත් වෙන්න බෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ. ලයිට්, ටෙලිෆෝන්, ෆෝජී, තිබුණේ නැති සමාජයක තිබුණ දේවල් අපි මේ සමාජයට ගේනකොට බුද්ධිමත්ව ගෙනැල්ලයි කෙනෙකුට උපදෙස් දෙන්න ඕන. එහෙම නැතුව මං අර කලින් කිව්වා වගේ තව කෙනෙකුගෙ මොඩ්ල් එකක් වෙන්න කියලා උපදෙස් දුන්නොත් ඒවා වැඩක් නෑ.

 

*අවසාන වශයෙන් ඇසුවොත් ඇත්තටම කාන්තාවකට පාරමිතා පුරලා බුදු වෙන්න බැරිද?

ඇයි බැරි? හොඳට පුළුවන්. මොකද බුදු වෙන්නේ කාන්තාවක්වත් පිරිමියෙක්වත් නෙවෙයි හිත. එතකොට කාන්තාවක් පිරිමියෙක් කියලා විශේෂයක් නෑ. හිතක් තියෙන ඕනම කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ කැපකිරීම් සහ උත්සාහය විතරයි. ගැහැනුකම බුදුවීමට කිසිම  ප්‍රශ්නයක් නෙවෙයි.

 

ලිහිණි මධුෂිකා