රූපලවන්‍ය

තෙලේ වැඩි වුණොත් දැලේ දාගන්නවා බොරු

කුෆු කියන්නේ ඊජිප්තුවේ ප්‍රකට පාරාවෝ රජ කෙනෙක්. කුෆුට තිබිලා තියෙන්නේ තෙල් සහිත සමක්ලු. අන්න ඒ නිසා අඬු පඬු හැදීගෙන එනකොටම කුෆුගේ මූණේ කුරුලෑ එන්න පටන්ගත්තලු. කුරුලෑ ඇතිවෙන්නේ බුද්ධියෙන් පරිණත පුද්ගලයන්ට කියලා ඒ කාලේ සමාජ කසුකුසුවක් තිබුණලු. ඉතින් මූණේ කුරුලෑ ආව හැටියේ දැන් කුෆු රජවෙන්න සුදුසුයි කියලා හිතපු පිය රජා කුෆුට ඊජිප්තු රාජ්‍යය පවරා දීලා තියෙනවා. කුෆුට විතරක් නෙවේ ඒ කාලේ ඊජිප්තුවේ හිටිය තෙල් සහිත සමක් තියෙන තව එතකොට මූණ පුරා කුරුලෑ තිබුණු උදවිය දැඩි සමාජ ගෞරවයට පාත්‍ර වුණා කියලත් පතපොතේ සඳහන්.

අපෝ! ඒකට දැන්.

‘‘ඔයාගේ මූණේ ඔච්චර තෙල් බේරෙන්නෙ මොකද?, ඔයාගේ මූණෙ තියෙන තෙල්වලින් කැවුම් බදින්න පුළුවන්’’

‘‘අයියෝ! මූණ පුරා කුරුලෑ ඇවිල්ලනේ. බෙහෙත් ගන්නෙ නැද්ද?’’

මූණේ තෙල් ඩිංගක් නැත්නම් මේ තෙල් ස්වභාවය නිසා ඇතිවෙන කුරුලෑවක් දෙකක් දැක්කම අපේ උදවිය කටමැත දොඩවන්​නේ ඔන්න ඔහොම.

තෙල් සහිත සමක් තියෙන ඕනම කෙනෙක්ට මූණ දෙන්න වෙන ප්‍රධානම ගැටලුවක් තමයි මූණට හම්බෙන අය අහන ප්‍රශ්නවලට උත්තර දීලා එපා වෙන එක. එහෙම බලද්දි තෙල් සහිත සමක් තියෙන යුවතියකට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ඊටත් වැඩියි. තෙල් සහිත සම ගැන ටිකක් කතා කරන්න අද ‘ධරණී’ රූපලාවණ්‍ය පිටුව වෙන් කළේ ඒකයි.

තෙල් සහිත සමක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමුකෝ. අපේ සමේ සෙබේශස් (Sebaceous) කියලා ග්‍රන්ථි විශේෂයක් තියෙනවා. මේ ග්‍රන්ථිවලින් සීබම් (Subum) කියලා තෙල් විශේෂයක් ස්‍රාවය වෙනවා. අපේ සමේ තෙතමනය රැකගන්නේ මේ සීබම්. ඉතින් සීබම් කියන්නේ නරක දෙයක් එහෙම නෙමෙයි. සීබම් නැතිවුණ හැටියේ වෙන්නේ සම වේලිලා රැලි ගැහෙන එක.

හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැලුනේ. අන්න ඒ වගේ තමා අවශ්‍ය ප්‍රමාණයට වඩා සීබම් ස්‍රාවය වෙන්න ගත්තු හැටියේ මූණේ තෙල් ගතිය වැඩි වෙනවා. තෙල් ස්වභාවය වැඩි වුණාම මුහුණේ තිබෙන මැරුණු සෛල මේ සීබම් එක්ක එකට එක්කාසු වෙලා මූණේ තියෙන සිදුරු අවහිර කරලා විශාල කුරුලෑ ඇති කරවනවා. ඊටපස්සේ ඉතින් ඒ තැන්වල කළු පාට ලප ඇතිවෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒ විතරක් නෙමේ මුහුණේ කුරුලෑ ඇති වුණාම මුහුණට දැනෙන අතිශය වේදනාකාරී අත්දැකීම බොහෝදෙනාට මානසික පීඩාවක්.

තෙල් සහිත සම නිසා කුරුලෑවලට අමතරව බ්ලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස් වගේ තත්ත්වයනුත් ඇතිවෙනවා. ඒ වගේම දැක්ක හැටියේ ඇහැට පේන තරමේ විශාල සිදුරුත් ඇතිවෙනවා.

තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ගේ සම නිතරම දිලිසෙන ස්වභාවයෙන් යුක්තයි. දිලිසෙන සියල්ල රත්තරන් නෙවෙයිනේ. ඒ වගේ තමයි බොහෝදෙනාට මේ දිලිසීම හිසරදයක්. ඒ නිසාම තෙල් සහිත සමක් තියෙන ඈයෝ දවසට දහ දොළොස් පාරක්වත් ‘‘තෙල් ඇවිල්ලද තෙල් ඇවිල්ලද’’ කියලා හිත හිතා මුහුණ පිහදාගන්නවා.

හැබැයි හැම කළු වළාකුලකම රිදී ඉරකුත් තියෙනවා වගේ තෙල් සහිත සමක් තියෙන අයට සතුට වෙන්න කාරණාත් කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි තෙල් සහිත සම ඉක්මනට වියපත් වෙන්නේ නැහැ. ඒකම ඉතින් කොච්චර දෙයක්ද නේද? ඒ වගේම කාලයක් යනතුරු මේ අයගේ මූණේ ෆයින් ලයින්, රින්කල් වගේ රැලි ඇතිවෙන්​නෙත් නැහැ.

කෙනෙක්ගේ මූණේ මේ විදියට සීබම් වැඩි වෙන්නේ ඇයි කියන කාරණාව ගැනයි අපි මීළඟට කතා කරන්නේ. ඒකට බලාපන හේතූත් කිහිපයක්ම තියෙනවා.

පළවෙනි දේ තමයි ජානමය බලපෑම. අම්මා, තාත්තා දෙන්නගේ නැත්නම් පරම්රපරාවේ බොහොම ළඟ ඥාතියෙක්ගේ සමෙන් දරුණු විදියට තෙල් ස්‍රාවය වෙනවා නම් ඒ පවුලේ ඇතැම් දරුවන්ට ඒක ලේ උරුමයෙන්ම දායාද වෙන්න ඉඩ තියෙනවා.

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය නිසාත් මුහුණේ තෙල් සහිත බව වැඩි වෙන්න පුළුවන්. තෙල් සහිත සම නිසා කුරුලෑ ලප ඇති වුණාම ඒවා හංගගන්න සමහරු නිතරම ෆවුන්ඩේෂන් වගේ දේ වලින් මුහුණ පිරියම් කරනවා. ඒකෙන් මුහුණේ තෙල් සහිත ස්වභාවය වැඩිවෙන්න පුළුවන් කියන එක මතක් තියාගන්න. ඒ වගේම තමයි තෙල් සහිත සමක් තියෙන කෙනෙක් නම් කවමදාකවත් හරි විදියට මේකප් ඉවත් නොකර නින්දට නම් යන්න එපා!

තෙල් සහිත සමක් තියෙන කෙනෙක් වියළි සමක් තියෙන අයට හදාපු රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කළොත් වෙන්නේ තෙල් ගතිය තවත් වැඩිවෙන එකයි. ඒ නිසා තෙල් මත පදනම් වුණු රූපලාවන්‍ය නිෂ්පාදන වෙනුවට ජලය මත පදනම් වුණ නිෂ්පාදන තෝරගන්න අමතක කරන්න එපා.

අධික තෙල් සහිත ආහාර සහ සීනි ආහාරයට ගැනීමත් සීබම් වැඩි වෙන්න හේතුවක්. ‘‘වැඩිය තෙල් කෑම කන්න එපා මූණේ ගෙඩි දානවා’’ කියලා ඉස්සර අපේ අත්තම්මලා කියනවා අපි අහලා තියෙනවා. ඕනවට වඩා තෙල් කෑවම මූණේ තෙල් බේරෙන බව ඒ කාලේ හොලිවුඩ් යන්න පෙරුම් පිරුව බවලතියන්ටත් වැටහුණාලු. ඊටපස්සේ ඔවුන් කාලයන් යනතුරු චීස්, බටර් වගේ කෑම වර්ජනය කරලා තියෙනවා. ඉතින් තෙල් සහිත මුහුණක් තියෙන කෙනෙක් නම් ගැඹුරු තෙලේ බැදපු කෑම වර්ජනය කළත් කමක් නැහැ.

මේ කිව්ව හේතුවලට අමතරව අධික උෂ්ණත්වය අධික සීතල වගේ දේශගුණික තත්ත්වයන් නිසාත් තෙල් සහිත සමක් ඇතිවෙන්න පුළුවන්. මේ තාවකාලික හේතු ඇරුණුකොට උපතින්ම තෙල් සහිත සමක් තියෙන කෙනෙක්ගේ සමේ තෙල් සහිත ස්වභාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නවත්, කුරුලෑ එන එක නතර කරන්නවත් අපිට තියා සක්කරයගෙ පුතා වයිමටවත් බැහැ. හැබැයි තෙල් තත්ත්වය හොඳින් පාලනය කරලා කුරුලෑ, බැලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස් ඇතිවීම පාලනය කරන එක අමාරු නැහැ. ඒ මෙන්න මෙහෙම.

නිතර නිතර මූණ හෝදන එකත් තෙල් සහිත සමක් තියෙන අයගේ වැරදි පුරුද්දක්. මූණ සේදුවම තෙල් ඉවත් වෙනවා කියලා හිතුවට ඒකෙන් වෙන්නේ මුහුණේ තියෙන තෙල් වැඩිවෙන එකයි. ඒ නිසා තෙල් සහිත සමක් තියෙන කෙනෙක් ගැළපෙන සේදුම්කාරකයක් දාලා දවසට දෙවතාවක් මුහුණ සේදුවම ඇති. ආ… අනික කොයිම වෙලාවකවත් සමට සබන් භාවිත කරන්නත් එපා.

මේ අයට ඇල්කොහොල් රහිත ටෝනර් එකක් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. ඒ මගින් මුහුණේ විවර වෙලා තියෙන සිදුරු වසා දැමෙනවා.

ඒ වගේම මූණ තෙල් සහිතයි කියලා මුහුණට ක්‍රීම් වර්ග, මොයිස්චරයිස් නොගා ඉන්නත් එපා. ඒකෙන් මුහුණට අවශ්‍ය පෝෂණය නොලැබී යන්න පුළුවන්. හැබැයි තෙල් සහිත සමටම කියාපු ප්‍රමිතිගත නිෂ්පාදන තෝරගන්න එක වැදගත්.

ඒ වගේම මාසෙකට සැරයක්වත් මූණ ස්ටීම් කරන්න, ක්ලීනප් කරන්න. ඒවා තෙල් සහිත සමට හොඳ සත්කාර.

තෙල් සහිත සම සුවපත් කරන්න පුරාණ ඊජිප්තුවරු මී පැණි භාවිතා කරලා තියෙනවා. ඇත්තටම තෙල් සහිත සමට ගැළපෙන අනර්ඝතම සත්කාරය තමයි මී පැණි. ප්‍රමිතියෙන් යුතු හොඳ මී පැණි තට්ටුවක් මූණේ ආලේප කරලා විනාඩි 10ක් විතර තියලා මද රස්නේ වතුරෙන් හෝදන්න. මේ සත්කාරය සතියකට දෙවතාවක්වත් කරන්න බලන්න.

ඕට් මීල් පවුඩර් මේස හැඳි හයකට උණුවතුර ස්වල්පයක් මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න. මේක විනාඩි තුනක් විතර මුහුණේ තියලා උණුවතුරින් සෝදාා හරින්න.

බිත්තර සුදු මදයකට ලෙමන් යුෂ හැන්දක් මිශ්‍ර කර මුහු​ණේ ආ​ලේප කරලා විනාඩි 10ක් විතර තියලා මද රස්නේ වතුරෙන් සෝදන එකත් තෙල් සහිත සමට හොඳයි.

කෙඔලින් (Kaolin) සහ බෙන්ටොනයිට් (Bentonite) අඩංගු රූපලාවණ්‍ය මැටි වර්ග වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. උණුවතුර ටිකක් මිශ්‍ර කරලා මැටි මාස්ක් එකක් මුහුණේ ආලේප කරලා විනාඩි 10කින් සෝදලා ඉවත් කරන්න.

කොහොඹ දළු, අමුකහ, සුදු හඳුන් තැම්බූ වතු‍රෙන් සතියකට වතාවක් මුහුණට වාෂ්ප අල්ලන්නත් අමතක කරන්න එපා.

මෙන්න මේ සත්කාර ටික පිරිසිදුවට, පිළිවෙලට කරන්න පුළුවන් නම් මූණට මුලිච්චි වෙච්ච හැටියේ මූණේ තෙල් ගැන අහපු උදවිය ‘අනේ ඔයා ලස්සන වෙලානේ’’ කියලා කියන බව නම් නිසැකයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි