විශේෂාංග

රජගෙදරදී සිදුවූ කෙනෙහෙලිකම් ගැන කියන්න හැරී කුමරු පොතක් ලියලා

ගෙයි ගින්දර පිටතට දීම හොඳ නැතැයි කියා කියමනක් තිබුණත් බ්‍රිතාන්‍ය රජගෙදර ගින්දර, ගෙඩිය පිටින්ම ලොව අභිමුව මුදාහරින්ට හැරී කුමරු කටයුතු කර තිබේ. ඒ තම ජීවන අත්දැකීම් අලලා ලියැවුණු ‘Spare’ (ස්පෙයාර්) කෘතිය හරහායි. ඔහු කුඩාවියේ සිට රජගෙදර තුළ විඳි වෙනස්කම් වාගේම අත්දැකි බොහෝ දේත් එහි විස්තර වේ. තම ජීවන සහකාරිය ලෙස මෙගන් මාර්කල් තෝරාගැනීමත් සමඟ ඒ වෙනස්කම් තීව්‍ර වූ හැටිත්, මෙම ග්‍රන්ථය තුළ විස්තර වන්නේ චිත්‍රපට දර්ශන පෙළක් මෙනි.

එහිදී හැරී කුමරුන් වඩාත් සංවේගයට පත්කළ සිදුවීම සිදුවන්නේ 2019 අවුරුද්දේය. එදින ඔහු සිටියේ ලන්ඩන් මන්දිරයේ වන අතර, විලියම් කුමරු පැමිණ තම බිරිඳ මෙගන්ට දොස් පවරන්නට පටන්ගෙන තිබේ. ඒ මෙගන් ‘නපුරු’ සහ දුෂ්ට, කටමැත දොඩවන්නියක වාගේම අන් අයගේ හැඟීම් නොහඳුනන්නියක ලෙස බැන වදිමිනි. එහිදී තම බිරිඳ එවන් තැනැත්තියක නොවේයැයි හැරී කුමරුන් කියද්දී, විලියම් කුමරු තමාට කෝපයෙන් පහර දී තල්ලුකර දැමූ අයුරු ඔහු සිය කෘතියෙන් විස්තර කර තිබේ.

විලියම් මාව කමිස කොලරයෙන් අල්ලලා තල්ලු කළාමගේ ගෙල පළඳනාව (මාලය) කැඩිලා, මාව වැටුණේ බල්ලන්ට කෑම දෙන පිඟන් ගොඩ උඩටමගේ උරහිසට පහළින් තුවාල වුණු බව ​තේරුණා. ඒත් විලියම් කෝපයෙන් මා දෙස බලාගෙන හිටියා. මම වැටුණු තැන ටික වෙලාවක් වැතිරගෙනම හිටියා. පස්සේ මම නැගිට්ටා. විලියම් යන්න ගිහින් ආපහු ආවා.”

ඒ මොහොතේ සොහොයුරා ඒ සිදුවූ දේ ගැන කණගාටු වන බව පෙන්වමින් තමා දෙස බැලූ බවත්, තමා ඔහුට වතුර වීදුරුවක් බොන්නට දී,විලී ඔයා ඔහොම ඉඳිද්දි මට කතා කරන්න බැහැ යැයි කියූවිට ඉන් පිටතට පැමිණි විලියම් යළි හැරී සිටි තැනට ගොස් තිබේ.

මේ ගැන මෙග්ට කියන්න ඕන නැහැ.”

ඒ කියන්නේ ඔයා මට පහර දුන් එකද?”

මම ඔබට පහර දුන්නේ නෑ හැරල්ඩ්.”

විලියම් කුමරු එසේ කීවත් ඒ මොහොතේද ඔහු සිටියේ කෝපයෙනි. ඒ වාගේම ‘හැරල්ඩ්’ යන ඇමතුම හැරී කුමරුව නිතර ආමන්ත්‍රණය කරන්නක්ද නොවේ. හැරී කුමරුගේ සම්පූර්ණ නම වන්නේ හෙන්රි චාල්ස් ඇල්බර්ඩ් ඩේවිඩ් ය.

තවත් විදියකින් කිවහොත් හැරී කුමරුන් යනු සසෙක්ස්හි ආදිපාදවරයායි. විලියම් යනු වේල්සයේ කුමරුය. මේ අයියා මලෝ අතර ගැටුම් ඇතිවන්නේ අද ඊයෙක නොවේයැයි කියන්නේ හැරී කුමරුමය. කුඩා කාලයේ සහෝදරයින් අතර ඇතිවන ගැටුම් දුරදිග නොගියත්, වැඩිහිටි වියේදී එම සිදුවීම් එ​සේ නොවේ. ඒවා පවුල් ගැටුම් වී විටෙක සදාකාලික විරසකකම් දක්වාම පැමිණෙන අවස්ථා ඇත. ඇතැම් දේ කුඩා කාලයේ සිටම අත්දකින්නට වන වෙනස්කම් මත පදනම්ව පවතින අළුයට ලූ ගිනි වැනිය.

මෙම පොත පිළිබඳව අදහස් දක්වමින් හැරී, විලියම් කුමරා හඳුන්වා ඇත්තේ ‘ආදරණීය සහෝදරයා සහ පරම සතුරා’ යනුවෙනි. ඔහු ඒ ගැන ‘ගුඩ් මෝනිං ඇමරිකා’ නම් උදෑසන රූපවාහිනී විකාශය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීද සඳහන් කර තිබේ.

අපි දෙන්නා අතර හැමවිටම තරඟයක් තිබුණා. ඒ උරුමක්කාරයා අමතරයා කියන ඝට්ටනය එක්කයි. අයියා උරුමක්කාරයා වෙද්දී අමතරයා වුණේ මං.”

ඉන් සහෝදරයින් දෙදෙනා අතර වූ විරසකය ගැන කියැවෙනවා මෙන්ම පොතේ මාතෘකාව වන්නේද එයයි. ස්පෙයාර් (අමතරයා). මෙතරම් හිත දවන්නට වූ සිදුවීම් අතර හැරී කුමරුන් ඉපදුණදා චාල්ස් කුමරු විසින් ඩයනාට කියා ඇතැයි කියන ප්‍රකාශයක්ද ඇතුළත්ය.

ඔබ ගැන සතුටුයි. ඔබ මට උරුමක්කාරයෙක් වගේම, අමතර බලාපොරොත්තුවක් දී තිබෙනවා.”

මෙම උරුමක්කාරයා හා අමතරයා යන සම්ප්‍රදාය රාජකීය පවුල් තුළ දීර්ඝකාලීනව පැවත එන්නක් අතර, පළමු පුත්‍රයා උරුමක්කාරයා හෙවත් සිංහාසනයට උරුමකම් ඇත්තායි. දෙවන පුත්‍රයාට සිංහාසන වරප්‍රසාදය හිමිවන්නේ පළමු පුත්‍රයාට යමක් සිදුවුවහොත් පමණි. එය රාජකීය සම්ප්‍රදාය වුවත්, හැරී කුමරුන්ගේ ළමා කාලය තුළ පවුලේ වෙනස්කම්වලට නිරන්තරව මුහුණදෙන්නට සිදුව තිබුණි. 2005 වසරේ සිදුවූ එවන් එක් සිදුවීමක් වන්නේ විකට ඇඳුම් සාදයකට පෙර ඇතිවූ කතාබහකි. එහිදී හැරී කුමරුන්, විලියම් කුමරුගෙන් හා එවකට ඔහුගේ පෙම්වතිය වූ කේට් කුමරියගෙන් අසා ඇත්තේ තමන් එම අවස්ථාවට නාසි ඇඳුම අඳින්නද, එසේත් නැත්නම් ගුවන්නියමු ඇඳුම අඳින්නද යන්නයි. එම මොහොතේ ඔවුන් දෙදෙනා කොක්හඬලා සිනාසෙමින් කියා ඇත්තේ නාසි ඇඳුම අඳිනා ලෙසය. එම සිනාවේ වූ සරදම් සහගත බව ඔහුගේ හිත පීඩාවට පත් කර තිබේ. පියා හෝ සහෝදරයා නිසා තමන් හිත රිදවා ගනිද්දී තමන්ට ආදරේ දැක්වූ එලිසබෙත් ආච්චිටද ඒ ගැන කරන්නට දෙයක් නොතිබූ බව හැරී කුමරු පවසයි. ඒ වාගේම ඇය මියගිය මොහොතේ හැරී කුමරුට විශේෂයෙන් දැනුම් දී නැති අතර, ඔහු ඒ ගැන දැනගෙන ඇත්තේ බී.බී.සී. පුවත් සේවයෙන් බවද පවසා ඇත.

හැරීට මෙගන් මුණගැහෙන්නේ 2016 දීය. ඔවුනගේ විවාහය 2018 වසරේ සිදුවූ අතර එම විවාහ මංගල්‍යයේදී රැවුල කපන ලෙසට සොයුරා ඔහුට බල කර තිබේ. එමෙන්ම රාජකීයයන්ගේ විවාහ මංගලෝත්සව සිදුවන දේවස්ථානයද ඔහුට තහනම් විය. වෙස්මිනිස්ටර් ඇබේ හෝ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුර තමන් යෝජනා කළවිට ඊට ටෙව්බරි දේවස්ථානය හොඳ යැයි විලියම් යෝජනා කර තිබේ. එහි කී දෙනෙකුට අසුන්ගත හැකිදැයි හැරී කුමරු විමසා ඇත්තේ පුදුමයෙනි. මෙගන් නිළියක වීමත්, අප්‍රිකානු සම්භවයක් සහිත කාන්තාවක වීමත් රාජකීය සම්ප්‍රදායන් ඉදිරියට ගෙනයාමට බාධාවක් බව සොයුරාගේ මතය වූ බව හැරීගේ අදහසයි. සිය මවගේ මරණයේ විසිවන සංවත්සරය දා ඇගේ සොහොන්ගැබ අසලදී ඔවුන් දෙදෙනා අතර වූ කතාබහ තුළින්ද කියැවෙන්නේ එයද? නොඑසේනම් මවගේ ආදරය ගැන තිබූ තරඟයද?

ඔබ දන්නවද අම්මා මෙහි ඉන්නවා. ඇය මට උදව් කරනවා හොඳ පවුලක් ගොඩනගාගන්න. ඔබටත් ඇය උදව් කරාවි.”

විලියම් කුමරු එසේ කියද්දිම හැරි කුමරුද හිස වනා එය අනුමත කරමින් මෙසේ කීවේය.

ඔබ හරි. මාත් ඒ කියමනට එකඟයි. මට හැඟෙන්නේ ඇය මට මෙග්ව (මෙගන්) සොයාගන්න උදව් කළා වගේ.”

ඒ කියමනත් සමඟ විලියම් අඩියක් පස්සට ගත්තේය. එපමණක්ද නොව සොයුරා තමා දෙස කණස්සන්ලෙන් බලා,හරි හැරල්ඩ් ඒත් මට ඒ ගැන විශ්වාසයක් නැහැ.” විලියම් කුමරු එසේ පිළිතුරු දුන්නේය.

ඒ කතාව එදා දුරදිග යන්නට තිබුණත්, ඉන් දෙදෙනාම නතරව තිබේ. පසුකලෙක පිටතට එන්නේ මේ අළුයට ගිනිය. මෙගන්ගේ හා හැරීගේ දරුවාගේ සමේ පැහැයද මාලිගාවේ අය ප්‍රශ්න කරන්නේ මෙගන්ගේ හිත පෑරෙන පරිදිය. ඔවුනගේ එක් දරුවෙකු ගබ්සාවීමටද එම මානසික පීඩා හේතුවක් වූ බව කියැවේ. අනතුරුව ඔවුන් මාලිගාවත් රාජකීය සත්කාරත් හැරයන්නට තීරණය කරන්නේය.

ඔහු ‘ස්පෙයාර්’ කෘතිය මගින් කැමිලා තම පියා හා විවාහ වනවාට එකඟ නොවූ බවත්, අවසානයේ පියා ඇය අසලදී සතුටින් සිටින බවට ඒත්තු ගියෙන් ඊට එකඟ වූ බවද දක්වා තිබේ. එහෙත් පවුලේ අර්බුදවලට ඇය ප්‍රධාන හේතුවක් වූ බවද එහි සඳහන්ව තිබේ.

මීට අමතරව එම කෘතිය මගින් තමන් 17 වන වියේදී වැඩිහිටි කාන්තාවක හා ලද පළමු ලිංගික අත්දැකීම ගැනද සඳහන්කොට තිබේ. මෙගන් හමුවීමට පෙර තිබූ තවත් එවැනිම සබඳතා කිහිපයක් ගැනද සඳහන් කර ඇති අතර, තමන් බාලවියේ මත්ද්‍රව්‍යවලට යොමුවී පුනරුත්ථාපනය වූ අයුරුත් ඊට එක්කර ඇත. එමෙන්ම ඇ‍ෆ්ගන් යුද්ධයේදී තමා තලේබාන් සාමාජිකයින් විසිපස්දෙනෙකු ඝාතනය කළ බව එහි සඳහන්ය.

මේ සියලු කරුණු කාරණා මැද ‘ස්පෙයාර්’ කෘතිය වසරේ වැඩිම ​අලෙවියක් හා අවධානයක් දිනාගන්නා කෘතිය වනු ඇති බවට විචාරකයින් මත පළකරන අතර, රජපවුල මේ සම්බන්ධයෙන්ද බොහෝදුරට නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ඇතයි සැලකේ.

මම සියල්ල අතහැරියේ මෙගන් වෙනුවෙන්. ඇය මගේ හොඳම තේරීමයි.”

රජපවුලේ කවුරුන් කොහොම කිව්වද ඒ හැරීට මෙගන් දැනෙනා හැටිය. ​ඔහු මෙගන් වෙනුවෙන් තවත් බොහෝ දෑ කරනු කියනු ඇත. ඒ හැරීගේ හැටිය.

දීපා වසන්ති එදිරිසිංහ