නැන්දම්මත් අපේ අම්මා වගේ වුණානම් කොච්චර හොඳද?
නුවන්තගෙ ගම්පළාතට වැස්ස වහින හැම වෙලාවකම මගෙ හිතට දැනුණේ ලොකු බයක්. ළඟින් ළඟින් පිපිරෙන අකුණු හඬටත්, ඇස් ගිනිකන වට්ටන විදුලි කෙටිල්ලටත් මගේ හිතේ ඒ බය දෙගුණ තෙගුණ කෙරුවා. ගේ ඉස්සරහින් තිබ්බ අක්කර දහයක පහළොවක පොල්වත්තේ පොල්ගස්වල සමහර කරටි කහ පාට වෙලා මැරිල යන්නෙ ඔය පුපුරණ අකුණු වැදිලා කියල දවසක් හේරත් මාමා කිව්වා.
“ඔය අකුණු වැදිච්ච පොල් ලීයක් ගේක වහලෙටවත් දාන්න ගන්නෙ නෑ. මිනිස්සු හිතනව එතකොට ගෙටත් අකුණු ගහයි කියලා. ඇත්ත නැත්තනම් මම දන්නෙ නෑ දුවේ.”
සතුටුදායක දේවල්වලට වඩා වැඩි හරියක් වුණේ මගෙ හිත සසල කරන දේවල්මයි. අකුණු ගහනකොට ගේ ඇතුළෙනුත් නිල්පාට එළි දුවනවා කිව්වම අපෙ තාත්තා කිව්වෙ,
“ඔහෙ ගෙන්දගම් පොළොවනෙ, අකුණු අදිනවා වැඩියි. පරිස්සමට ඉන්න” කියලා.
මේ පීඩන දරාගන්න බැරි මම කරන්නෙ වැස්ස වහින, ගොරවන, අකුණු ගහන වෙලාවට ඇඳ උඩට වෙලා වකුටු වෙලා ඉන්න එක.
කාත් කවුරුවත් නැතිව නුවන්තගෙ ගෙදර ඒ වගේ දවස්වලට දැනුණ බය, දුක, පාලුව හින්දා මම ආව මුල්ම දවස්වල මහ ගොඩක් අඬපු දවසුත් තිබුණා. ඉස්සර අපේ ගෙදර කට්ටිය ගොඩක් හිටිය වගේ තව එක්නෙක් දෙන්නෙක්වත් මේ ගේ ඇතුළේ ඉන්නවනම් කියලා මට හැම වෙලාවෙම හිතුණා.
ගොඩක් දෙනෙක් ආස වෙන්නෙ කසාද බැන්ද ගමන්ම තනියම ගෙදරක ජීවත්වෙන්න. මගෙ සමහර යාළුවො හිටියා බඳින්න ඉස්සරවෙලා ගෙවල් හදපු අය. සමහර අය හිටියා බැඳලා මාසෙන් දෙකෙන් කුලී ගෙවල් හොය හොය ඇවිද්ද. සමහරු කරන්න දෙයක් නෑ කියල මහගෙදරම අඬ අඬ හිටියා.
ඒ දවස්වල මම කසාද බැඳල හිටියෙ නෑ. ඒක හින්දා මට ඔය එක දෙයකවත් අත්දැකීමක් එයාලට වගේ තිබ්බෙ නෑ. ඒක හින්දම මම ඒ කාලෙ දොස් කිව්වෙ නැන්දම්මලාට නෙමෙයි, යාළුවන්ට.
“උඹල නැන්දම්මාට අම්මා කියල හිතල සලකන්නෙ නැතිව ඇති.”
“එහෙම නැත්නම් ඕන්නැති දේවල් කියලා නැන්දම්මව තරහ ගස්සනවා ඇති.”
“හැමවෙලාවෙම මනුස්සයව ගෙදර අයගෙන් වෙන් කරන්න හදනව ඇති.”
“එක්කො නැන්දම්මා උයලා මේසෙට අරිනකන් උඹල කාමරේට වෙලා ඉන්නව ඇති.”
“මම නම් බැන්ද දවසක මහගෙදර අයත් එක්ක තරහ වෙන්නේ නෑ. නැන්දම්මා, නෑනලා, මස්සිනාලා එක්ක ගෙදර හිටිය වගේ හොඳට ඉන්නවා.”
මම ඒ දවස්වල එහෙම කිව්වෙ උඹලට බැරි වුණාට මට එහෙම කරන්න පුළුවන්ය කියන හැඟීමෙන්. ඇත්තටම මට එහෙම හැඟීමක් තිබුණා.
“එහෙමනම් බලපන්කො එහෙම ඉඳලා. පුළුවන් වුණොත් අපිට අනුකම්පා කරපන්.”
ඒ කිව්ව වචන ඇතුළෙ තිබුණෙ අභියෝගයක්ද එහෙම නැතිනම් අවඥාසහගත බවක්ද එහෙමත් නැත්නම් මං ගැන අනුකම්පාවක්ද කියලා මට එදා හිතාගන්න බැරි වුණා. ඒත් දැන්නම් හිතෙන්නෙ ඒක ඒ එකක්වත් නෙවෙයි කියලා. ඒ වචන ඇතුළේ තිබුණේ මට වගේම දැනෙන කළකිරීම හා වෙහෙසකරබව නේද කියලා. සහයෝගයටත්, සාමයටත්, ආදරයටත් මගෙ හිතේ තිබුණ උත්සාහය හා හැඟීම නුවන්තගේ පවුලෙ අයට මදිවෙනකොට මගෙ හිතේ තිබ්බ ඒ ලස්සන හීන ටික ටික මැකිල ගියා.
සායනවලදිත් හමුවෙන්න යන වෛද්‍යවරු ළඟදිත් කියල දෙන්නෙ බබාල හම්බවෙන්න ඉන්න අම්මලා,
“හිත කලබල කරගන්න හොඳ නෑ”
“ගොඩක් දුක හිතන්න එපා, දුක හිතෙන දේවල් බලන්න එපා.”
“හොඳට කන්න ඕන.”
“නිතරම බබා ගැන හිතන්න ඕන.”
“හිත සන්තෝසෙන් තියෙන තැන්වල වැඩිපුර රැඳෙන්න ඕන.”
“හිත සන්තෝස කරන ලස්සන දේවල් නිතරම බලන්න ඕන.”
“භාවනා කෙරුවට කමක් නෑ.”
“සන්සුන් හිතක් ඇතිකරගන්න.”
“ඒ හැමදේම බබාට දැනෙනවා, අම්මගෙ හිතුවිලි බබාට බලපානවා”
කියලා. හිතේ සන්සුන්කම තියාගන්න නම් මේ දේවල් එක්ක බෑ කියල හිතිලමයි තිබුණෙ.
කාසල් එකේ තියෙන සායනයට ගියාම එතැන නිතරම දේශනවලින් දැනුවත්වීම් කෙරුවා. අම්මලාට විතරක් නෙමෙයි එතැන තාත්තලටත් ඉන්න කිව්වා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මලාට මුලින්ම තියෙන අපහසුතා ගැන කිව්වා. ඒ අපහසුතා හින්ද පවුලෙ අයව, තමන්ගේ ස්වාමියාව නොරුස්සන ගතියක් ඇතිවෙන්න පුළුවන් කිව්වා. ඒක හින්දා මහත්තුරු හිතේ අමනාපකම් ඇති කරගන්නෙ නැතිව බිරිඳට මේ කාලෙ වැඩි වැඩියෙන් ආදරේ කරන්න කිව්වා. බිරිඳත් එක්ක ගෙදරදොර වැඩ සහයෝගෙන් කරන හැටි, බබාව නාවන හැටි වගේ හැමදේම මාසෙන් මාසෙට කියල දුන්නා. අපරාදෙ කියන්න බෑ නුවන්ත ඒ දේවල්නම් පුළුවන් උපරිමයෙන් කෙරුවා.
නුවන්ත මට උදව් කරනවා දකිනකොට නුවන්තගෙ අම්මට, නංගිට ඉවසන්න බැරිව ගියා. දවසක් නුවන්ත මට නාන්න ළිඳෙන් වතුර ඇදල දෙනවා දැකපු අම්මා අපි ළඟට ආවේ ඒ වයසට ඇවිදගෙන එන්න බැරිතරම් වේගෙකින්.
(මතක හීරුමක අවසනට තව දුරක් ඇත.)
ප්‍රියංකා නානායක්කාර