විශේෂාංග

ඇයි මට මගේ වයිෆ්ට දෙවැනි අම්මා කියලා කියන්න බැරිද?

අචින්ත ඒ වෙලාවේ හිටියේ බැංකුවේ කළමනාකාරතුමා එක්ක සාකච්ඡා කරන ගමන්. ඒ, බැංකුවේම විදෙස් ශාඛාවකට අචින්තට ලැබුණු උසස්වීම ගැන. අචින්ත හිටියේ ගොඩක් සතුටින්. උසස් පෙළ කාලේ ඉඳන්ම ඔහු හීන මැව්වේත් පිටරටකට යන්න. තනියම නෙවෙයි, තමන්ගේ ආදරවන්තිය එක්ක. අනුන්ගේ පෞද්ගලික ජීවිතේ ගැන උනන්දු නොවෙන විදෙස් රටක ජීවිතේ අලුතින්ම පටන්ගන්න දෙන්නා කතාවෙලා හිටියා.

ඒත් ඒ සැලසුම මේ වෙද්දී වැරදීගෙන එන බව අචින්ත දැනගෙන හිටියේ නැහැ.

අචින්ත කළමනාකාරතුමා එක්ක කතා කරලා එළියට එද්දී හැමෝගෙම මුහුණු අමුතුවෙලා බව ඔහුට තේරුණා.

මොකද බන්? ඔහු ඇහුවේ සුපුරුදු කවටකමෙන්.

තාරුකීලා, මාලිකාලා අචින්තව නොදැක්කා වගේ අහක බලාගත්තා. අචින්ත හිටියේ සිද්ධ වෙන දේ මොකද්ද කියලා හිතාගන්න බැරිව.

ආ බන්? උඹ අර හැමතිස්සෙම කියන උඹේ දෙවැනි අම්මා, දිස්නා ටීචර්. ඒකි උඹේ දෙවැනි අම්මා නම් මොකද මේ දෙන්නා බදාගෙන? කමල් අමුතු හිනාවක් මුහුණේ තියාගෙන ෆෝන් එක අචින්ත දිහාවට දිගු කළා.

සිසුවා කෙළෙසූ නාකි ටීචර්. අන්න එහෙමයි මාතෘකාව තිබ්බේ. ඒ අචින්ත උසස් පෙළ කරලා ඉවර වුණු දවසේ ගත්තු ෆොටෝ එකක් බව අචින්තට මතක් වුණා.

අනේ අචින්ත මගේ ෆෝන් එක නැති වෙලානේ. මීට ටික දවසකට කලින් දිස්නා ටීචර් තමන්ට එහෙම කියපු හැටි අචින්තට මතක් වුණා.

අනේ අචින්ත ඔයා ගැන හිතන් හිටිය විදිය ගැන අපිටම ලැජ්ජයි. තාරුකී කිව්වා.

තාරුකී, කටවහන් හිටපන් බන්. කොල්ලෝ එහෙම තමයි. අපිට දුක මූ අපිටත් ඒ ගැන හංගපු එක. අපිට කිව්වේ දිස්නා ටීචර් කියන්නේ දෙවැනි අම්මා කියලනේ. උඹට ඇත්තම කියන්න තිබ්බනේ. උසස් පෙළ කාලේ උඹේ සම්බන්ධයක් තිබ්බා කියලා ඒ ගෑනි එක්ක. දික්කසාද ගෑනියෙක්ලු නේද? සුනන්ද ඇහුවේ හිනාවෙවී.

උඹලට වැරදිලා. දිස්නා කියන්නේ මගේ දෙවැනි අම්මා තමයි. ඇයි මට මගේ වයිෆ්ට දෙවැනි අම්මා කියලා කියන්න තහනම්ද? අචින්ත ඇහුවා.

මොනවා. වයිෆ්. උඹ අපිටත් හොරෙන් බැන්දද?කවුදෝ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න අචින්ත ප්‍රමාද වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු පිටතට ගිහින් දිස්නාට දුරකතන ඇමතුමක් ගත්තා.

දිස්නා හොඳටම බයවෙලා. අචින්තගේ තාත්තා දිස්නාගේ පාසල ගාවට ඇවිත් නරක වචන කියලා කෑගැහුවා කියලා දිස්නා කිව්වේ අඬමින්.

ප්‍රින්සිපල්, අනිත් ටීචර්ස්ලා මම දිහා බැලුවේ අප්පිරියාවෙන් අචින්ත. දිස්නා කිව්වේ කඳුළු එක්ක.

මොන දේ සිද්ධ වුණත් අපේ සැලසුමේ මුකුත්ම වරදින්න විදියක් නැහැ. ප්ලෑන් එකේ විදියටම ඔයා අද රෑට රට යන්න. ඔයාව මගේ යාළුවා එක්කගෙන යයි අපාර්ට්මන්ට් එකට. මම මෙහෙ වැඩ ඉවර කරලා සතියක් ඇතුළත එනවා. අචින්ත කිව්වා.

අචින්තගෙන් වුණේ මොකද්ද කියලා දැනගන්න හැමෝම හිටියේ නොඉවසිල්ලෙන්.

කියන්න පුතා. ඔයා ඉස්කෝලේ යන කාලේ බලහත්කාරකමක් වුණාද? අපිට පුළුවන් එහෙනම් නීතිය ඉස්සරහට යන්න. මම සපෝර්ට් කරන්නම් පුතා. අචින්තගේ දක්ෂකම්වලට කවදත් ආදරය කළ කළමනාකාරතුමා කිව්වේ සංවේගයෙන්.

අපෝ නැහැ සර්. ඒ මගේ ආදරේ.අචින්ත කියද්දී කළමනාකාරතුමාගේ මුහුණ වෙනස් වුණා.

අචින්ත වැඩ ඇරිලා ගෙදර යද්දී අචින්තගේ තාත්තා හිටියේ ආවේශ වෙලා.

මොන ලැජ්ජාවක්ද මේ වුණේ? අපි කොහොමද ආයේ සමාජෙට මුහුණ දෙන්නේ. ඔහු හිටියේ කෑ ගසමින්.

තාත්තට ඕවා හිතන්න තිබ්බේ ඒ කාලේ. ඒ කාලේදි ඔයාවත්, අම්මවත් මට ආදරේ කළාද? නැහැනේ. ලකුණු අඩුයි කියලා දොස් කියපු එක, හේතුවක් නැතුව මට ගහපු එක ඇරෙන්න. අනිත් එක ඔයාලා දෙන්නා රණ්ඩු වෙවී හිටියා ඇරෙන්න මම කන්නේ බොන්නේ මොනාද කියලවත් හොයන්න ඔයාලට උවමනාවක් තිබ්බද? මම පොඩි ළමයෙක් විදියට මට ආදරේ ලැබුණු තැනට මම කිට්ටු වුණා. අචින්ත කිව්වේ ගාණක්වත් නැතුව.

ඕකිව මම මරනවා.තාත්තා කෑ ගැහුවා.

මම තව සතියකින් රට යනවනේ. එතකොට ඔය ඔක්කොම ඉවරයි. දිස්නා මිස්ට වද දෙන්න යන්න එපා. අචින්ත කිව්වා.

අචින්තගේ තාත්තා නිහඬ වුණේ ඒ කතාවට.

පුතා රට ගියාට පස්සේ, ලංකාවේ තනිවෙන දිස්නා ගැන බලාගන්නම් කියලා ඔහු හිතාගත්තා.

අචින්ත රට ගිහින් සමාජ මාධ්‍යවල දිස්නා එක්ක සතුටින් තුරුලු වෙලා ඉන්න ෆොටෝ එකක් දැම්මා.

මම මගේ අයගේ ආදරේ නැතිව ගොඩක් දුක් විඳපු කාලෙක, ආදරේ දැනෙන තැනක නතර වුණා. එදා මට දුක් දීපු මිනිස්සුන්ගෙන්, එදා මම විඳපු දුක් දිහා අනුකම්පාවෙන් නොබලපු මිනිස්සුන්ගෙන්, මම හොයාගත්තු ආදරේ ඇද හොයන මිනිස්සුන්ගෙන් දුරස් වෙලා මේ ආදරේ විඳින්න ලැබුණු එක මගේ පෙර පිනක්. අචින්ත ඒ විදියට ලියලා තිබුණා.

සමාධි ඩයස්