News

TNA එකෙන් එජාපයට දැමූ කොන්දේසි පහ

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට සහාය පළ කරන්නේ කොන්දේසි පහක් මත බව ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට ලිඛිතව පසුගිය 10 වැනි දින දැනුම් දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ‘අරුණ’ට පැවැසීය.

13 වැනි සංශෝධනය අනුව ඉඩම් හා පොලිස් බලතලවල සම්පූර්ණ බලය පළාත් සභාවට ලබාදෙන ලෙසටත්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමත්, රජයේ ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් දෙසැම්බර් 31 දිනට පෙර නිදහස් කිරීමත්, ත්‍රස්තවාදී පනත අහෝසි කිරීම හා උතුරු නැගෙනහිර පළාත් යළි එක්කිරීම යන කරුණුවලට එකඟවන්නේ නම් පමණක් සිය පක්ෂයේ සහාය ලබාදෙන බව සම්බන්ධන්ට දැන්වූ බව සිවාජිලිංගම් පැවැසීය.

ඊට අමතරව 2019 වසරේ පෙබරවාරි 04 වැනිදාට පෙර නව ව්‍යවස්ථාව ගෙන ඒමට කැමැත්ත පළ කර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබූ බව ඒ මහතා සඳහන් කළේය. මේ කරුණු සඳහා එකඟ නොවන්නේ නම් ටෙලෝ සංවිධානයට සම්බන්ධ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්ගේ හා දිගාමඬුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කේ. කේදිස්වරන්ගේ සහාය නොලැබෙන බවටද අනතුරු හැඟවූ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සේනාරත්න