ඒයි හෙමින් විනෝද වෙයල්ලා…. මහ අසික්කිත සද්දයක් ඇහෙන්නේ -ආර්මේනියානු යුවතියන්ට මධුසමය එපා කරවන නෑයින්ගේ කතාව
‘‘මා දැනසිටියා මංගල දිනයේදී අනෙක් මනාලියන්ට මෙන් මටත් සියලුම ඇඳුම් ගලවා නිරුවත් වීමට සිදුවන බව. එය පුදුම වීමට කාරණයක් නොවෙයි. නමුත් ආදරය සම්බන්ධව කිසිම අත්දැකීමක් මා ඒ වනතෙක් අත්විඳ තිබුණේ නැහැ.’’
ඒ වනවිට 27 හැවිරිදි වියේ පසුවූ අසර්බයිජාන කාන්තාවක වන එල්මිරා ප්‍රකාශ කරන්නේ සිය මංගල දින රාත්‍රියේ මුහුණ දුන් අප්‍රසන්න සිදුවීම සිහියට නගා ගනිමිනි. විශ්වවිද්‍යාල උපාධියක් ලබා භාෂා පරිවර්තකවරියක ලෙස කටයුතු කළ ඇයගේ සැමියා කුඩා කල සිට දන්නා අසල්වාසී තරුණයෙකු විය. එහෙත් ඇය එම විවාහයට කැමති වූයේ තමාගේ විශේෂ කැමැත්තක් නිසා නොව සිය මව සතුටු කිරීම පිණිසය.
‘‘මගේ සොහොයුරන් කීවේ ඔහු නූගතෙකු වුවත් හොඳ මිනිසෙකු බවයි. මගේ මවගේ අදහසට පිටින් යාමට මට හැකියාවක් තිබුණේ නැහැ. මා විවාහය කල්දමනවිට ඔවුන් සැක කළේ මා කන්‍යාවියක නොවන නිසා එසේ කරන බවයි.’’
එල්මිරාගේ සැමියා ඇයට කිසි ලෙසකින්වත් ගැළපෙන පුද්ගලයෙකු නොවීය. ඇගේ හැඟීම් පිළිබඳ අබමල් රේණුවක තරම්වත් තැකීමක් නොකළ ඔහු ඇයව නිරුවත් කොට සයනය මත පෙරලාගත්තේ ආවේග වූ කපුවෙකු පරිද්දෙනි. ඒ අවස්ථාවේදී ඇගේ හිස ගිඩි ගිඩි ගාමින් ඇඳ වියලේ වැදෙන්නට පටන් ගත්තේය.
‘‘ඒයි හෙමින් විනෝද වෙයල්ලා, මහ අසික්කිත සද්දයක් ඇහෙන්නේ.’’
ඒ කටහඬ ආවේ මංගල යුවළගේ අල්ලපු කාමරයේ සිටි ඇගේ දුර ඥාති ගැහැනියකගෙනි. ඇයට අමතරව ඒ තුළ එල්මිරාගේ මව, සැමියාගේ මව හා තවත් වැඩිහිටි ගැහැනු දෙදෙනෙක් සිටියහ. එල්මිරාට දැනුණේ තමා ඔවුන් ඉදිරිපිටම පිරිමියෙකු හා හැසිරෙන බවය. ඔවුන් පස්දෙනා හුස්ම ගන්නා හඬ පවා ඇයට ඇසුනි.
සිය කාර්යය නිමා කරගත් නව මනාලයා ගොරවමින් නිදන්නට වූ අතර රාත්‍රියේ ඉතිරි කාලය එල්මිරා ගෙවා දැමුවේ නිදිවර්ජිතව කඳුළු සලමිනි. වෙහෙසින් හා ලැජ්ජාවෙන් මිරිකී සිටි ඇය වේදනාවෙන් යුතුව කල්පනා කළේ විවාහ ජීවිතය යනු කොතරම් දරුණු දඬුවමක්ද කියාය.
මංගල දිනයේ සිදුවීම් එතෙකින් නිමාවන්නේ නැත. පසුදින උදෑසනම ඇයට සිය මංගල යහනට එලා තිබූ සුදු ඇතිරිල්ල ප්‍රදර්ශනය කිරීමට සිදුවෙයි. දෙපසේම ඥාතීන් හා අසල්වාසීන් ඊට එක්වන අතර එහි රුධිරය ගෑවී නොතිබීම යනු මනාලිය කෙතරම් අවංක හා පිරිසිදු යුවතියක වුවද ඇගේ විවාහය කෙළවර වන බවය. තවදුරටත් ඇයට සැමියා සමඟ දීග කන්නට අවසරයක් නැත. එපමණක් නොවේ වෙනත් විවාහයකටද ඇයට අවස්ථාවක් නැත්තේ ඔවුන්ගේ සමාජය තුළ ඇය අසුබ ගැහැනියක ලෙස සැළකෙන බැවිනි. සිය මව්පියන්ගේ සෙවණේද කොන්කළ ගැහැනියක ලෙස වාසය කරන්නට ඇයට සිදුවෙයි.
අපේ රටේද මීට කාලයකට පෙර මෙම සුදු ඇතිරිල්ලේ චාරිත්‍රය තදින් පිළිගත් නමුත් දැන් එය ක්‍රමයෙන් තුරන් වෙමින් පවතී. එහෙත් අසර්බයිජානය, ආර්මේනියාව, ජෝර්ජියාව ඇතුළු කොකේසියන් කලාපය ආශ්‍රිත රටවල් ගණනාවකම ජනතාවගේ ඉහළ පිළිගැනීමක් තවමත් ඊට තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝකයේ රටවල් 20ක පමණ මීට සමාන අමානුෂික විවාහ සිරිත් පවතී.
උතුරු අසර්බයිජානයේ නිගාර්ගේ කතාව එල්මිරාගේ කතාවට වඩා තරමක් වෙනස් එකකි.
‘‘මගේ මංගල රාත්‍රිය දවසේ එකෙක් දෙන්නෙක් නෙවෙයි, මුළු ගමම අපේ අල්ලපු කාමරයේ රැඳී සිටියා. මුළු රැය පුරාම අපට ඇසුනේ ඔවුන් පුටු එහා මෙහා කරන, තේ පානය කරන, මුමුණන හඬවල්. මටවත් මගේ සැමියාටවත් මධුසමය ගත කරන්න සිත එකඟ කරගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. පසුදා එළි වූ ගමන්ම ඔවුන් කාමරයට ආවේ ඇඳ ඇතිරිල්ල පරීක්ෂා කර බැලීමටයි.’’
විවාහ වනවිට 18 හැවිරිදි වියේ පසුවූ නිගාර් දැන් තිස් ගණන්වල පසුවන දික්කසාද ගැහැනියකි.
ආර්මේනියාවේ සිරිත් අසර්බයිජානයට මඳක් සමාන නමුත් එහිදී මනාලියගේ කන්‍යාභාවය ඔප්පු වුවහොත් ඇගේ නිවසට රතු ඇපල් කූඩයක් යවන සිරිතක් ඇත. අනතුරුව එය පෙන්වා සිය දියණියගේ පිරිසිදුකම ඥාතීන්ට හා අසල්වාසීන්ට පෙන්වීම සඳහා ඇගේ දෙමව්පියෝ තේ පැන් සංග්‍රහයක් පවත්වයි.
මේ ප්‍රදේශවල බොහෝ තරුණියන් අවුරුදු 18 සම්පූර්ණ වනවිටම විවාහ කරදීමට ඔවුන්ගේ වැඩිහිටියන් කටයුතු කරයි. ඔවුන්ට විශේෂ ඉගෙනීමක් ලබාදීමට හෝ රැකියාවකට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නැත. නමුත් ‘රතු ඇපල් චාරිත්‍රයෙන්’ අසමත් වුවහොත් එම තරුණියන්ට දෙවියන්ගේ පිහිටය. බොහෝ දෙමව්පියන් ඔවුන්ව සිය නිවසටද නැවත කැඳවාගැනීම ප්‍රතික්ෂේප කරති.
‘‘මට මගේ සැමියාව මුණගැසුනේ සාදයකදී. ඒ වනවිට අපට අවුරුදු විස්ස ලැබුවා පමණයි.’’
යෙරිවන්හි වැසියකු වන 35 හැවිරිදි ආනි ප්‍රකාශ කරන්නීය.
‘‘අපි දෙදෙනාම උසස් අධ්‍යාපනය ලබා සිටියේ. පෙම්වතුන් වී සිටියත් විවාහ වනතෙක් ලිංගිකව එක්වීමට අප අදහස් කළේ නැහැ. ඒ අනවශ්‍ය කටකතා පැතිරීයාම වළක්වන්නටයි.’’
කෙසේ වුවත් විවාහයට පසුදා උදයේ ඇය තේ පානය කරමින් සිටියදී සැමියාගේ මව, මිත්තණිය හා තවත් වැඩිහිටි ගැහැනුන් කිහිපදෙනෙකු ඇගේ පිරිසිදුභාවය ගැන සාකච්ඡාවක යෙදුනි.
වාසනාවකට මෙන් බොහෝ මනාලියන්ගේ මෙන් ආනිගේ කතාව දුක්බර එකක් වූයේ නැත. ඒ හේතුවෙන් දැන් ඇය සාර්ථක විවාහ ජීවිතයක් ගත කරයි.
මානසික වෛද්‍යවරියක වන හෙලාස් ගොරීනාට අනුව සමහර කාන්තාවන් විසින් මධුසමය රාත්‍රියේ අමිහරි සිද්ධි ඉක්මනින්ම අමතක කරන අතර සමහරුන්ට එය වසර ගණනාවක් පුරා බලපාන මානසික වදයකි. විවාහයෙන් මාස හයකට පසු සැමියා මියගිය එල්විරා අයත් වන්නේ මෙම දෙවැනි ගොඩටය.
‘‘ඒ මාස හය පුරාම මුල් දවසේ සිදුවීම මට වද දුන්නා. ඔහු මියගිය පසු විවාහ වීමට නැතිනම් සම්බන්ධයක් ඇති කරගැනීමට අවශ්‍ය වුණත් මට බාධා කළේ ඒ මානසික ගැටලුවයි.’’
දැන් ඇය අවුරුදු දහයක පුතෙකු සිටින මවකි. ස්ත්‍රී සිරුර ක්‍රියාකරන ආකාරය පිළිබඳව විටින් විට ඇය ඔහුට කියාදෙයි.
‘‘මා ඔහුට උගන්වනවා මනුෂ්‍යයෙකු විදියට හැසිරෙන හැටි ගැන. මට දියණියක සිටියා නම් ඇයට උගන්වනවා මා අතින් සිදුවූ ආකාරයේ වැරදි නොවන්නට. සැමියාව මා මුල් කාලයේ වටහාගත්තා නම් ඔහුත් සමඟ මීට වඩා හොඳින් මට ඉන්නට ඉඩ තිබුණා.’’
සමහර පවුල්වල තත්ත්වය මීටත් වඩා වෙනස්ය. මංගල යුවළගේ කාමරය මුරකරන ඥාති හිතවතුන් මැදියම් රැය වනවිටත් මනාලියගේ පිරිසිදුකමේ තත්ත්වය දැනගන්නට නොහැකි වුවහොත් ඒ මොහොතේම ඇයව වෛද්‍යවරයෙකු කරා රැගෙන යන්නට පෙළඹෙති. වෛද්‍ය ගොරීනා ප්‍රකාශ කරන්නේ කාන්තාවකගේ පෞද්ගලික ජීවිතයට එසේ ඇඟිලි ගැසීම සාපරාධි බලහත්කාරකමක් බවය. එමගින් සිදුවන මානසික පීඩාව ඇයගේ ජීවිතයට දීර්ඝකාලීනව බලපායි.
කෙසේ නමුත් දැන් මෙම ගොරහැඬි මංගල සිරිත් ක්‍රම ක්‍රමයෙන් තුනී වී යාමට පටන්ගෙන ඇත.
‘‘අලුත් පරම්පරාව මෙම සිරිත් නොසළකා හැරීමට පටන්ගෙන තිබෙනවා. දිළිඳු පවුල්වල අය පවා දැන් නිවසේ විවාහ උත්සවය ගැනීම වෙනුවට උත්සව ශාලා සහ හෝටල් තෝරාගැනීමට පෙළඹී සිටිනවා.’’
ජෝර්ජියාවේ බොහෝ සමාජ හා මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ප්‍රකාශ කරන ආකාරයට එහි ඇඳ ඇතිරිල්ල පරීක්ෂා කිරීමේ සිරිත බොහෝසෙයින් අභාවයට ගොස් ඇත.
එසේ වුවත් උතුරු කොකේසියන් කලාපයේ සමහර ග්‍රාමීය පෙදෙස්වල තරුණියන් තවමත් විවාහ දිනයට මුහුණදෙන්නේ බිත්තර සිය ගණනක් තැම්බීමට තරම් බියෙන් ගැහෙන හදවතකිනි. ඔවුන්ගේ සමාජය සිය හණමිටි අදහස් ඉවත්කොට මානුෂික කෝණයකින් තරුණියන් දෙස බලන්නට හුරුවන තුරු මෙම දරුණු ඉරණම ඔවුන් පසුපස හඹා එනු ඇත.
වසන්ත විජේරත්න