ඔසප් දාට ලොව්තුරා බුදුන්ගේ හෙවන ගෙදර බුදුන්ට තහනම්ද?
මාසික ඔසප් දිනවලදී ආගමික ස්ථානවලට යාම හෝ ආගමික වතාවත්වලට සහභාගී වීම කාන්තාවන්ට නොමනා ක්‍රියාවක් බවයි අදටත් බොහෝදෙනාගේ විශ්වාසය. නාගරික සමාජයට වඩා ග්‍රාමීය සමාජය තුළ තමයි මේ විශ්වාසය ගොඩක් දුරට දකින්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ‘කිලි’ සම්බන්ධව එවැනි සඳහනක් නැති බව කොයිතරම් පැහැදිලි කරන්න හැදුවත් ඒක භාරගන්න සමහරු තවමත් සූදානම් නැති බව තමයි ඇතැම් සිදුවීම් නිසා අපිට පේන්න තියෙන්නේ.
කිලි හින්දා තහනම් උඩ මලුවේ නැත ගැහැනුන්
නොතිබුණා නම් කිලි මහාමායා දේවිට උපදීද බෝසතුන්……..
කිරිපිඬු දන් අරන් බෝ මුලට පිරිවර ඇවිදින්
නුඹට අද කිලිදැයි ඇසුවාද සුජාතාවගෙන් බෝසතුන්…..
බොහොමයක් විහාරස්ථානවලට ගොඩවෙනකොටම බෝධීන් වහන්සේ අසල නාම පුවරුවක සඳහන් කරලා තියෙන මේ කවි පේළි ටික මතක් වුණෙත් මේ කාරණාවටම අදාළ හින්දා.
ඇත්තටම කාන්තාවක් ඔසප් දිනවල පන්සලේ බුදු මැදුරට, බෝ මලුවට පය තියන එක කිලිද? බුද්ධ දේශනවට අනුව කාන්තාව කිල්ලක්ද? ඒ ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යරන ඒ නිසාම ඔසප් වීම ස්ත්‍රිිමහ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සමඟින් කළ සාකච්ඡාවක් ඇසුරින් තමයි මේ ලිපිය සකස් වෙන්නේ.
“සමාජය ඔය කිලි විදියට හඳුන්වන කිසිම දෙයක් කිසිසේත්ම අපේ බුදුදහම හා සම්බන්ධ වුණ කාරණා නෙවෙයි. ඒවා මොනම ආකාරයකින්වත් බුදුදහමට අදාළ නෑ. ලොව්තුරා බුදු පියාණන්වහන්සේ සූනීතගේ, සෝපාකගේ ඉඳලා විශාකාවගේ, සුජාතාවගේ, ප්‍රජාපතී දේවියගේ ඉඳලා මහාමායාව ළඟට යනකම්ම ගිහින් ධර්මය අවබෝධ කෙරෙව්වේ කිලි නැති දවස්, කිලි ඇති දවස් මොනවද කියලා දිවැසින් බලලා නෙවෙයි.
අනිත් එක බුද්ධ දේශානාවේ කොතැනද කාන්තාවට මාස් ශුද්ධිය දවසට පන්සලට එන්න තහනම් කරලා තියෙන්නෙ? බුදු හාමුදුරුවෝ කොහෙත්ම ඔහොම දේවල් වදාරලා නෑ. විශේෂයෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ එක්ක, දන්ත ධාතූන් වහන්සේ එක්ක අපේ කාන්තාවට තියෙන්නේ බොහොම සමීප බැඳීමක්. මොකද ශ්‍රී මහා බෝධීන් වහන්සේව මෙරටට ගෙනාවේ කාන්තාවක් වුණ සංඝමිත්තා තෙරණිය. දන්ත ධාතූන් වහන්සේව කෙස් කළඹේ සඟවාගෙන ගෙනාවේ කාන්තාවක් වුණ හේමමාලා කුමරිය.
එහෙව් කාන්තාවටද මේ අද වෙනකොට ශ්‍රී මහා බෝධියට, දන්ත ධාතූන් වහන්සේ ළඟට ගියොත් කිලි කියලා කියන්නේ? මොනවද මේ විකාර කතා? එතකොට සංඝමිත්තා තෙරණියට, හේමමාලා කුමරියට එදා ඔය කියන මාස් ශුද්ධිය තිබුණේ නැද්ද?
අන්න ඒ නිසා බුද්ධ දේශනාවේ නම් කොතැනකවත් කාන්තාවගේ මාස් ශුද්ධිය කිල්ලක් කියලවත්, එවැනි දවස්වලට පන්සලේ බුදුගෙට, බෝධියට එන්න එපා කියලාවත් සඳහන් කරලා නෑ. අනික ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස, රුවන්වැලි සෑය ඇතුළු අනෙකුත් අටමස්ථාන ළඟ, දළදා මාලිගාව ඉදිරිපිට, ‘කාන්තාවනි ඔසප් දිනට මෙහි නොයෙනු’ කියලා දැන්වීම් පුවරු අලවලා තියෙනවද? ඒ විතරක් නෙවෙයි අඩුතරමින් ගමේ පන්සලේවත් ඔසප් දවසට පන්සල් එන්න එපා කියලා බෝඩ් අලවලා තියෙනවද?
ඒ වගේම ඒ තැන්වලට යනකොට කිසිම කෙනෙක් කාන්තාවන්ගෙන් ප්‍රශ්න කරනවද ඔසප්ද නැද්ද කියලා? මේ සේරම අපේ මිනිස්සු බුදුදහම හින්දු ආගමත් එක්ක පටලවගත්ත නිසා ඇතිවුණ විකාරරූපී අදහස්. ඒ නිසා පසුකාලීනව මේ දේවල් සංස්කෘතියට එකතු කරගෙන ඒවට මුල්තැන දීලා කටයුතු කරන්න පටන්ගත්තා. බුදුදහම අනුව කිලි විදිහට හඳුන්වන්නේ ලෝබ, ද්වේශ, මෝහ කියන තුන විතරයි.”
ඒ වුණත් බොහෝදෙනෙකුගේ මතය වෙන්නේ බෝධීන් වහන්සේ අභියසට නිතරම වාගේ දෙවිවරු ආකර්ෂණය වෙනවා කියලනේ. ඒ නිසාම ඒ වගේ තැනකට අපිරිසිදුවට ගියොත් පිහිටක් ආශිර්වාදයක් ලබන්න පුළුවන්ද කියලත් මෙතැනදි කෙනෙකුට හිතෙන්න පුළුවන්.
“මෙහෙමයි, බුදුන්වහන්සේ කියන්නේ ලෝකෝත්තර උත්තමයෙක්. දෙව්වරු කියන්නේ ලෞකික ඈයෝ. එහෙම බැලුවොත් බෝධීන් වහන්සේ ළඟට යනකොට පිරිසිදුවට යන එක කාන්තාවට විතරක් නෙවෙයි පිරිමියාටත් බලපානවා. ඔසප් තත්ත්වය කියන්නේ කායික රුධිර වහනයක්. කායික රුධිර වහනයක් තියෙන කෙනෙකුට බෝධීන් වහන්සේ ළඟට යන්න බැරි නම්, ශරීරයේ තුවාලයක් තියෙන පුද්ගලයෙකුටත් බෝධීන් වහන්සේ ළඟට යන්න බැරි වෙන්න ඕනෙ. මොකද කතාවක් තියෙනවනේ දෙවිවරු මිනිස් ගඳටත් අකමැතියි කියලා.
හැබැයි යම්කිසි කාන්තාවකට තමන්ගේ මාස් ශුද්ධිය දවසට බෝධීන් වහන්සේ ළඟට යන එක වැරදියි කියලා හිතෙනවා නම් හොඳම දේ ඇය නොගිහින් ඉන්න එක. ඇයට පූර්ණ අයිතියක් තියනවා තමන් එදාට බෝධි වන්දනාව කරනවද නැද්ද කියලා තීරණය කරන්න. මොකද ඔසප් වීම කියන්නෙ ඇගේ පුද්ගලික දෙයක් මිසක් ලෝකෙට පේන දෙයක් නෙවෙයිනෙ. ඒක නිසා තමන්ගේ කායික මානසික අපහසුතා අනුව තමන් තීරණය කරන්න. හැබැයි බුද්ධ දේශනාවේ කොතැනකවත් ඇයට නීති පනවලා නෑ. ඒ වගේම මෙහෙණින් වහන්සේලාටත් ඕක ඔය විදිහමයි. එවැනි දවස්වලට භාවිතා කරන රෙදි කඩවල් ගැන, පිළිපදින විදිවිධාන ගැන සඳහන් කරලා තියෙනවා ඇරෙන්න ඔවුන්ට ආගමික වතාවත් මගඇරලා ඉන්න කියලා සඳහන් කරල නෑ.
පන්සලේ බෝධියට, බුදුමැදුරට යන එන අතරවාරේ ‘අනේ අපිටත් ජීවිතේ එකපාරක් හරි ජයසිරිමා හාමුදුරුවන්ගේ උඩ මලුවට ගොඩවෙලා හිත නිවාගන්න ඇත්නම්’ කියලා හිතන කාන්තාවො ඕනතරම් ඇති. මොකද එදා ජයසිරිමා හාමුදුරුවන්ව වැඩැම්මුවා විතරක් නෙවෙයි උන් වහන්සේගේ ආරක්ෂාව සැලසුනෙත් ස්ත්‍රියක් නිර්මාණය කරපු ආරක්ෂක පරපුරක් නිසා. සංඝමිත්තා තෙරණිය සමඟ මෙරටට වැඩම කරපු බෝධිගුප්තා තෙරණියගේ නැගණිය වුණු සුනන්දා සාමනේරීන් වහන්සේව සිවුරු අරවලා සරණ පාවලා දුන්නේම ජයසිරිමා හාමුදුරුවන් රකින පරපුර නිර්මාණය කරන්න කියන කතාව අහලා ඇතිනේ.
මවක් ජීව විද්‍යාත්මකව සරුයි කියලා පෙන්නන ඔසප් චක්‍රය නැත්නම් මේ ලෝකේ කිසිම මනුස්සයෙකුට උප්පත්තියක් නෑනේ. අන්න ඒ නිසා සෑම මවක්ම, සෑම කාන්තාවක්ම හොඳට හිතට ගන්න අපේ බුදුන්වහන්සේ කොතැනකවත් කියලා නෑ, ‘ගෑනු ජාතිය ජරා ජාතිය පිරිමි ජාතිය උතුම් ජාතිය’ කියලා. උන්වහන්සේ තමයි මේ තුන්ලෝකේම කාන්තාවට උසස්ම තැන දීපු උත්තමයාණන් වහන්සේ. ඒ නිසා අවුරුද්දේ තුන්සිය හැටපස් දවසෙම බෝධීන් වහන්සේ ළඟයි, බුදුන් වහන්සේ ළඟයි ඇයට සෙවණ තියෙනවා.”
ලිහිණි මධුෂිකා