News

ජනපතිගෙන් පොරොන්දුවක්

 

 

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සහ මහ බැංකු වංචාව වැනි අපරාධවලට සම්බන්ධ වූවන්ට නීතියෙන් ගැලවීමට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය. ජනතාවගේ විශේෂ අවධානයට ලක් වී ඇති මෙම අපරාධය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ හැත්තෑ තුන්වැනි නිදහස් දිනය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඊයේ (04 වැනිදා) පැවැති සැමරුම් උළෙලේදීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලැබී ඇතැයි ද එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයිද ජනාධිපතිවරයා කීය.

ජනතාව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීගෙන් සාධාරණ, අපක්ෂපාතී මෙන්ම කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙනවා. පසුගිය පාර්ලිමේන්තුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහි පියවර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම අන්තවාදයට නැවත මේ රටේ හිස ඔසවන්නටත් අපි ඉඩ දෙන්නේ නැහැ.’’ යැයි ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවින් එම රටේ ජීවත්වන සෑම පුරවැසියකුටම සමාන අයිතියක් හිමිය. එමෙන්ම වාර්ගික හෝ ආගමික හේතු මත පුරවැසියන් බෙදා වෙන් කිරීමේ උත්සාහයන් වත්මන් රජය ප්‍රතික්ෂේප කරනවා. එබැවින් සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් හැම විටම පෙනී සිටින බව ජනාධිපතිවරයා කියයි.

නිලන්ත මදුරාවල