ඩෙංගු පරීක්ෂාව සඳහා උපරිම මිලක්
ඩෙංගු පරීක්ෂණ සඳහා අය කළ යුතු ගාස්තු සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් ඊයේ (29 වැනිදා) නිකුත් කර ඇත.
සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 400ක්ද ඩෙංගු පරීක්ෂාවක් සහ වාර්තා නිකුත් කිරීමට රුපියල් 1200ක්ද වන පරිදි සීමා පනවමින් මෙම පාලන මිල සඳහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඩෙංගු රෝගීන් හමුවීම වැඩි වීමත් සමග දිවයින පුරා පෞද්ගලික රෝහල් සහ රසායනාගාර රෝගීන්ගෙන් විවිධ මිල ගණන් අය කරන බවට ලැබුණු පැමිණිලි විමර්ශනය කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි.
ඇතැම් රෝහල් ඩෙංගු රෝග රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 3000ක්ද, සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 1000 ආසන්න මුදලක්ද අය කරන බවට රෝගීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර ඇත.