කතුවැකි

නව ජනාධිපති ආදර්ශය

ජනාධිපතිවරයා නිවැරදිම ආරම්භයක් ගෙන තිබේ. අනවශ්‍ය සංදර්ශනද අනවශ්‍ය වියදම්ද කප්පාදුවට උපදෙස් දෙමිනි. ප්‍රථමයෙන්ම නියෝග කෙරුණේ ජනාධිපතිවරයාගේ ඡායාරූපය සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රදර්ශනය කළ යුතු බවට වූ සම්ප්‍රදාය හා නියමය අවලංගු කිරීමටය.

ජනාධිපතිවරයා ඔහුගේ ඡායාරූප රාජ්‍ය ආයතනවලින් ඉවත් කිරීමත් සමග ඔහු ජනතාවගේ හදවත්වල සදාකාලිකවම තම රූපය සටහන් කර ගන්නට සමත්ව තිබේ. ජනාධිපතිවරයා හා මැති ඇමැතිවරුන් ගොඩබිමින් ගමනක් බිමනක් යන විට රථ පෙළපාළියක් යෑමත් මාර්ග වසා තැබීමත් සෙසු ජනතාවගේ විරෝධයට, උපහාසයට සේම කලකිරීමට හේතුවී තිබූ කාරණයකි. මෙතෙක් කලක් ජනාධිපතිවරයාගේ රථ පෙළට ගිලන් රථයක්, ගිනි නිවීමේ රථයක් ඇතුළු වාහන 20ක් පමණ ඇතුළත්ව තිබිණ. මේ වාහන සංඛ්‍යාව තුනක් දක්වා අඩු කිරීමටත්, තමන් ගමන් කරන විට මාර්ග වැසීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

2019 වසරේ රජයේ වැය ශීර්ෂයට අනුව ජනාධිපතිවරයාගේ වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 13ක් ඉක්මවා ඇත. මේ ඇදහිය නොහැකි වියදම අඩු කරන්නටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව විවිධ විෂයයන් යටතේ ජනාධිපති කාර්යාලය යටතේ පැවැති කාර්යාංශ, ව්‍යාපෘති ආදිය ඒ ඒ විෂය භාර අමාත්‍යාංශ යටතට පත් කෙරෙනු ඇත. මේ සමගම 1200කට ආසන්න වූ ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය 250ක් පමණ දක්වා අඩු කිරීමට නියමිතය. මේ අතුරින් ජනාධිපති මාධ්‍ය අංශයේ පමණක් සිටින පිරිස 200කට ආසන්නය. මේ ප්‍රමාණය හොඳ මට්ටමින් රූපවාහිනී නාළිකාවක් වුවද පවත්වාගෙන යෑමට ප්‍රමාණවත්ය. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යයන් සම්බන්ධයෙන් කුමන ආකාරයේ ප්‍රචාරයක් ලැබුණේද යන්න ජනතාව හොඳින් දනී.

ජනාධිපති කාර්යාලයේ පමණක් නොව බොහෝ රාජ්‍ය ආයතනවලද තත්ත්වය එයාකාරය. නැති තනතුරු පවා නිර්මාණය කරමින් නිලධාරීන් පුරවා ඇතත් ආයතනයේ ඵලදායීතාව බිංදුවය. සුදුස්සන් පත් නොකිරීම, අවශ්‍ය පමණට වඩා පිරිස් බඳවා ගැනීම ඊට එක් හේතුවකි. ජනාධිපති කාර්යාලය වැනි රැස් විහිදෙන ඉහළ තැන්වල රස්සාවක් කරන්නට බොහෝ දෙනා ඉතා කැමැතිය. එහෙත් එවැනි තැන්වල සිටින ඇතැමකු කරන රස්සාව නම් ගනුදෙනු හෙවත් ‘‘ඩීල්’’ දැමීමය.

මේ තත්ත්වය ජනතාවගේ මුදල් කාබාසිනියා කිරීමක් සේම ආණ්ඩුවේද තමන්ගේද පිරිහීමට හේතු වන බව නව ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇති බව ඔහු පළමු දින දෙක තුළ ගෙන ඇති තීරණවලින්ම පැහැදිලි වේ. එය රටේ හෙට දවස ගැන සුබවාදී අදහසක් ඇති කර ගැනීමට අප පොලඹවන කාරණයකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පවරන භාරකාර ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 15කට සීමා කොට ඇත. මෙරට ඇමැති මණ්ඩලය රටට ඔරොත්තු නොදෙන නාස්තිකාර ආයතනයක් බවට විවේචනයක් පවතින්නේ කලක සිටය. මේ නිසා ඇමැති මණ්ඩලය තිස් දෙනකුට සීමා කළ යුතු බවට නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කළත් පසුව ඔවුන්ම ව්‍යවස්ථාවේ කනෙන් රිංගා ඇමැති මණ්ඩලය වැඩි කිරීමට පියවර ගත්තේය. නව ජනාධිපතිවරයා තම ඇමැති මණ්ඩලය පහළොවකට සීමා කිරීමට පියවර ගෙන ඇත්තේ ඇමැති මණ්ඩලය සීමා කිරීම වැනි ප්‍රතිසංස්කරණ යෝජනා ජනතාව හමුවේ විහිළුවක්ව තිබියදීය. මේ නිසා භාරකාර ආණ්ඩුවේ පමණක් නොව මැතිවරණයකින් පසු පිහිටුවන නව ආණ්ඩුවකද ඇමැති මණ්ඩලය 15කට සීමා කළ හැකිනම් ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනය ඉතිහාස ගත වනු ඇත. භාරකාර ආණ්ඩුවක් ඇමැතිවරුන් 15 දෙනකුගෙන් පවත්වා ගත හැකි නම් ඉන් පසු එසේ නොහැකි වන්නට හේතුවක් නැත.

ජනාධිපතිවරයාගේ ආරම්භය යහපත්ය. විශ්වසනීය ය. මේ නිසා ඉදිරියද යහපත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජනතාවට පොරොන්දු වූ පරිදි ආරක්ෂිත සමෘද්ධිමත් විනයවත් රටක් බිහි කිරීම සඳහා ඔහු දැනටමත් තවත් පියවර කිහිපයක්ම ගෙන තිබේ. රටේ බුද්ධි අංශ යළි ගොඩනැගීම, ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම, මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම සඳහා ජනාධිපතිවරයා දැනටමත් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

හැම විටකම පිටරට දේම අගයන අප සිතන්නේ හොඳම දේශපාලකයන් සිටින්නේද පිටරට බවය. බැරක් ඔබාමා තරම් සරල, චාම් දේශපාලකයෙක් අපට නැත. පාකිස්තානයේ නව අගමැති ඉම්රාන් ඛාන් නාස්තිය, දූෂණය පිටුදකිමින් කටයුතු කරන විට අපි ඔහුට ප්‍රශංසා කරමින් අපේ දේශපාලකයන්ට දෙස් දෙවොල් තබමු.

2015 ජනවාරි 09 දා මෙරට ජනතාව හමුවේ දිවුරුම් දුන්නේ ඇමරිකාවේ ඔබාමා මෙන් සරල නිහතමානී, ඉන්දියාවේ මෝදි මෙන් පොළොවෙන් මතුවූ, පාකිස්තානයේ ඉම්රාන් ඛාන් මෙන් දූෂණය නාස්තිය පිටුදකින බව කියූ ජනාධිපතිවරයෙකි. ඔහුගේ සරලකම, නිහතමානීකම, නාස්තිය පිටුදැකීම, කෙතෙක්ද යත්, ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් අත්සන් කළේ රුපියල් 10ක බෝල් බොයින්ට් පෑනකින් බව ඔහු අගයමින් කතා කළ අය කීහ. එහෙත් ඒ ජනාධිපතිවරයා විශ්‍රාම ගියේ රුපියල් කෝටි 800ක වියදමින් ප්‍රතිසංස්කරණය කළ මාලිගාවක් වැනි නිවසක් තමන්ට හිමි කර ගනිමිනි.

ඒ ජනාධිපතිවරයා එතරම් පහළට ඇද වැටෙන්නට කාරණා ගණනාවක් තිබේ. ඉන් එකක් වන්නේ ඔහුගේ ආදර්ශය ක්‍රියාවට නොනැගූ ඇමැති මණ්ඩලයයි. ඔහුට ක්‍රමයේ වෙනසක් කරන්නට සැබෑ අවශ්‍යතාවක් තිබූ බවක් පෙනෙන්නට තිබූ නමුත් ඔහුගේ ඇමැතිවරුන් ඒ අනුව වෙනස් වූයේ නැත.

මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ ඇති කරන්නට යන වෙනසට අනුව හැඩ ගැසීමට ඔහුගේ අමාත්‍යවරුන්ද වග බලා ගත යුතුය. ආරක්ෂකයන් 15-20 ක රැළක්, වාහන 10-15ක් නැතිව එළියට බසින්නට නොහැකි රෝගයකින් පෙළුන ඇමැතිවරුන් නොව අධීක්ෂණ මන්ත්‍රීවරු පවා සිටිති. එහෙත් දැන් ඒ ‘‘ෂෝ’’ නවතා දමන්නට කාලය පැමිණ තිබේ. ඔවුන් පමණක් නොව තමන්ගේ වාසියට ඇමැති ආරක්ෂක අංශ හැරදා යන්නට අකැමැති ආරක්ෂක අංශ නිලධාරීන්ද, දේශපාලකයන් ගොනාට අන්දා හෝ ඔවුන්ට අල්ලස් දී ජාවාරම් කිරීම තම වෘත්තිය කරගත් නිලධාරීන්ද ඔවුන්ගේ එම සෙල්ලම් නවතා දැමිය යුතුය. ඒවා ජනාධිපතිවරයාට මැදිහත්ව කරන්නට ඉඩ නොතබා ජනාධිපතිවරයා ආදර්ශයට ගනිමින් තම තමන්ම එසේ කළහොත් දේශපාලකයෝ යනු රටේ ජනතාවගේ මුදල් කා දමන පිංගුත්තරයන් යැයි ජනතාව තුළ පවතින සිතුවිල්ලේ වෙනසක් වනු ඇත.

මෙහිදී සෑම දේටම දේශපාලකයන්ට බැණ බැණ සිටින ජනතාවටද වගකීමක් තිබේ. අපේ බොහෝ දෙනකු ඔබාමා වැනි නායකයන් අපේක්ෂා කළත් ඇමරිකානුවන් මෙන් සිතන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ තමන්ගේ කාරිය කර ගන්නට පමණය. ඒ සඳහා දේශපාලකයන් හා නිලධාරීන් පසු පස යමින්​ දොළ පිදේනි පුදමින් ඔවුන්ට අමුතු බලයක් ආරෝපණය කරන්නේත් ජනතාවය.

නමුත් ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනය තුළ ඒ ‘ෂෝට්කට්’ වලටද ඉඩක් තිබේ යැයි සිතිය නොහැක. එනිසා ඔහු විසින් එවැනි ෂෝට්කට් වසා දමන්නට පෙර අප අපම ඒවා වසා දමා ගත හොත් ඉතා කෙටි කාලයකි