News

හෝමාගම රෝහල ලෙඩ වෙලා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මන්දගාමී වැඩපිළිවෙළ හේතුවෙන් හෝමාගම රෝහලේ මාතෘ හා ළමා ඒකකය නැවත විවෘත කිරීමට නොහැකි වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා හෝමාගම රෝහල වෙන් කිරීමත් සමග එහි මාතෘ හා ළමා ඒකකය මුල්ලේරියාව ​රෝහල වෙත රැගෙන ගියේය.

මේ අනුව මුල්ලේරියා රෝහල වෙත තාවකාලිකව අනුයුක්ත කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනා සහ ළදරු ඒකකයේ උපකරණ නැවත හෝමාගම රෝහල වෙත නිදහස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකිරීම හේතුවෙන් එහි පැමිණෙන ගර්භණී මව්වරුන්ව වෙනත් රෝහල් වෙත යැවීමට සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙසේ හරවා යවන මව්වරුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑ බවටද වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම මන්දගාමී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරු පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීමෙන් පසුව, මෙම ගැටලුව ඉක්මනින් විසඳා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දුරකථනයෙන් දැනුම් දී ඇතත් මේ වන විසඳුමක් ලැබී නොමැති බවද පැවසේ.

මුල්ලේරියාව රෝහලට අනුයුක්ත කළ වෛද්‍යවරුන්ව හා උපකරණ නැවත හෝමාගම රෝහල වෙත නිදහස් කිරීමට අවශ්‍ය ලියකියවිලි සකස් කරන මෙන් අදාළ නිලධාරීන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දුන්නද එම නිලධාරීන් එම උපදෙස් පිළි නොගන්නා තත්ත්වයක් ගනී.

ශ්‍රියානි විජේසිංහ