News

අනාරක්ෂිත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට සිට STF

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිඛේ.

ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

ඇදිරිනිතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වෙත  කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම අළෙවි කිරීම බෙදාහැරීමට අවසර දීමට රජය තීන්දු කිරීමත් සමග (23) අලුයම දෙකේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සෑම  ප්‍රදේශයකම එළවළු රථ විශාල ප්‍රමාණයක් පැමිණෙමින් තිබේ.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ඇති සෑම ප්‍රදේශයකම පාහේ එළවළු රැගෙන  එන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ දෛනික එළවළු අවශ්‍යතාවෙන් සියයට  හැත්තෑවක් පමණ සපුරන කේන්ද්‍රස්ථානයි.

ඇදිරිනිතිය පවත්නා වෙලාවෙත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කිරීමේදි ඔවුන් කියා සිටියේ වෙළෙදුන්ට මෙන්ම ගොවියන්ටද නියමිත ආරක්ෂිත ක්‍රමවේද ආර්ථික  මධ්‍යස්ථාන තුළ අනුගමනය කරන ලෙසටයි.

නමුත් ආර්ථික මධ්‍යස්ථානයේ ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ බොහෝ දෙනකු  මුඛ ආවරණ නොමැතිව එකිනෙකා අතර මීටරයක් පමණ පරතරයක් තබාගැනීමට දුන්  අවවාද කිසිමතැකිමකට නොගෙන හැසිරෙන අකාරයයි.

එසේම් ආර්ථික මධ්‍යස්ථාන පාලන අධිකාරිය මඟින් ආර්ථික මධ්‍යස්ථානයට පිවිසෙන  දොරටු හතරෙහිම දෑත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දී තිබුණද බොහෝ  දෙනෙකු එයින් ප්‍රයෝජන නොගනිමින් ඉතා අනාරක්ෂිත කාරී ලෙස හැසිරෙන ආකාරය  අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

එසේම ආර්ථික මධ්‍යස්ථානයේ සිට දඹුල්ල නගරයේ දක්වාම සෑම ප්‍රදේශයකම මේ වන  විට විශාල වශයෙන් එළවළු ලොරි රථ පැමිණීමත් සමඟ මුළු දඹුල්ල නගරයේම ඉතා  ජනාකීර්ණ තත්ත්වයක් පැනනැගී පවතී.