අමිත් වීරසිංහ හෙට දක්වා රිමාන්ඩ්
මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙට (29) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය අද (28) නියෝග කළා ය.
කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ටාශයේ මගින් අමිත් වීරසිංහ ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබූවේය.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කරන කොළඹ දකුණ විශේෂ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍ය ආකාරයකින් ජාතිවාදී හැඟීම් ඇති කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක පනත යටතේ හා හදිසි නීති පනත යටතේ විමර්ශන කරන බව ය.
පසුගිය 14 වන දා හෙට්ටිපොළ ප්‍රදේශයේ ගැටුම් ඇති වීමට පෙර සැකකරු හෙට්ටිපොළ හා මහනුවර ප්‍රදේශවල රැස්වීම් පවත්වා මුස්ලිම් ජාතිකයින් කෙරෙහි වෛරය ඇති වන ආකාරයෙන් දේශන පවත්වා ඇති බවට මේ දක්වා කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.
ඒ අනුව එකී චෝදනා සම්බන්ධයෙන් සම්පිණ්ඩන වාර්තාවක් හෙට (29) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.