News

ආසාදිත මළසිරුරු භූමදානයෙන් වළකින්න කියලයි අපි ඉල්ලන්නේ

 

 

‘‘මුස්ලිම්ද, සිංහලද, දෙමළද කියලා ප්‍රශ්නයක් නැහැ. කොවිඩ් ආසාදිත අයගේ මළසිරුරු පමණක් භූමදානයෙන් වළකින්න කියලයි අපි ඉල්ලන්නේ’’ යැයි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තෙබුවන පියනන්ද හිමියෝ පැවැසූහ.

කොවිඩ් ආසාදිතයන්ගේ මළසිරුරු භූමදානයට අවසර දීමට විරෝධය දැක්වීම සඳහා ‘‘රටට හෙටක් සංවිධානය’’ මගින් මතුගමදී පැවැති නිහඬ විරෝධතාවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

‘‘කොවිඩ්වලින් මිය යන පිරිසගේ මළසිරුරු භූමදානය කිරීමට විවිධ පිරිස්වලින් සිදුකරන ඉල්ලීම්වලට අවසර නොදෙන ලෙස රජයට බල කිරීමටයි මෙම විරෝධතාව පවත්වන්නේ. කොරෝනා වයිරසයෙන් මියගිය මුස්ලිම් අයගේ මළසිරුරු භූමදානය කිරීම සඳහා රජය ඉදිරියේදී යම් තීරණයක් ගන්නේ නම් එම තීරණය වහාම හකුළා ගන්නා ලෙස අප බලකර සිටිනවා.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් දීලා තිබෙනවා කොරෝනා ආසාදිතයන්ගේ මළසිරුරු කිසි ලෙසකින්වත් අපේ රටේ භුමදාන කිරීම නොකළ යුතුයි කියලා. ඊට එරෙහිව මුස්ලිම් සංවිධාන 15 ක් විතර අභියාචනා ඉදිරිපත් කළා. නමුත්, ඒ සියල්ලම ඉවත දැම්මා. මේ වනවිට ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම තීන්දුවයි.

මේකට විරුද්ධව මුස්ලිම් ජනතාව විවිධ ස්ථානවල සුදුකොඩි ඔසවාගෙන විරෝධතාවල නිරත වෙනවා අපි දැක්කා. කුමන බලපෑම් ආවත් ‘එක රටක එක නීතියක්’ කියන ජනාධිපතිතුමාගේ ​පොරොන්දුව මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරන්න’’ යැයිද උන්වහන්සේ පැවසූහ.

මෙම නිහඬ විරෝධතාවට හිටපු පළාත් සභා මන්ත්‍රී තෙබුවන පියනන්ද හිමි, රටට හෙටක් සංවිධානයේ සභාපති හෙට්ටිපොල සීවලී හිමි, සමාපත්ති ත්‍රෛ නිකායික භික්ෂු සංවිධානයේ ජාතික සංවිධායක වෙල්ගම ගුණසිරි හිමි, පරිසරවේදී සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරී මතුගම සෙනෙවි රුවන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.

බන්දුතිලක තඹවිට – මතුගම