ඇතා මැරෙන්න ඕන මෙච්චරක් ආයුෂ වළඳලා මෙන්න මේ දවසෙ කියලා අපි කොහොමද කියන්නෙ?
“මෑණියො කියන්නෙ අර කැලේ හිටපු සද්දන්තයට ගිනි බිඳලා මරලා දැම්මට පස්සෙ තමන් වෙනුවෙන් හඬක් නගන්න බැරි ඒ අහිංසකයා වෙනුවෙන් පෙනී හිටින එක වැරදියි කියලද?”
“නෑ සකී, මම එහෙම කියන්නෙ නෑ…”
“එහෙනම් දැන් මෑණියො කිව්වෙ කාවන්තිස්ස ඇතාට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා ගෝල්ෆේස් එකේ තිබ්බ උද්ඝෝෂණයට මම ගියපු එක වැරදියි කියලනේ.”
“නෑ සකී, මම කිව්වෙ ඒක වැරදියි කියලා නෙවෙයි. සාධාරණය ඉෂ්ට කරන්න කියලා කෑකෝ ගහලා උද්ඝෝෂණ කරන මිනිස්සු අතරට ගියාම ඔයාගෙයි, ඒගොල්ලන්ගෙයි වෙනසක් නෑ කියලයි මම කිව්වේ.”
මගේ හඬ ටිකක් උද්වේගකර වීගෙන එන බව දැනුණු නිසා මම නිහඬ වුණා. සමාඛ්‍යා එක්ක වාද කරලා ඒ කාලෙ දිනුවට මොකද, සාමා මෑණියො එක්ක එහෙම වාද කරලා මට දිනන්න බෑ. එහෙම දිනන්න මට ඕනත් නෑ. මෑණියො මගේ පුහුදුන් තර්ක, ධර්මය පාවිච්චි කරලා බිඳලා දාන තරමට මම කැමතියි. එතකොට තමයි අවිද්‍යාවෙන් වැහුණු මගේ හිත කලඑළි වෙන්නෙ. ඇත්තටම මේ ලෝකෙ අඳුර කියලා දෙයක් නෑ. තියෙන්නෙ අවිද්‍යාව කියලා දෙයක් විතරයි. හිත්වල තියෙන ඒ අවිද්‍යාව දුරු වුණාට පස්සෙ ලෝකය දිහා බලන්න මිනිස්සුන්ට ඇස් දෙකක් තිබුණත් එකයි, නැතත් එකයි.
මේ වෙලාවෙ මෑණියො ඉදිරිපිට මගේ වචනය සංවර කරගන්න ඕන බව දැනුණට මගේ හිත අසංවරයි. කාවන්තිස්ස ඇතා මිය ගිය බව දැනගත් මොහොතේ කම්පා වෙච්ච පිරිස අතරෙ මමත් හිටියා. කුරා කූඹියෙකුට වරදක් නොකරපු ඒ අහිංසකයා වෙනුවෙන් අපි හඬක් නැගුවොත් මිසක් ඒ සතාගෙ සනුහරේට ඒ හපන්කම කරන්න බෑ. ඒ නිසා මම හිතන්නෙ ගහකොළට, සතා සීපාවාට ආදරේ කරන මිනිස්සුන්ට යුතුකමක් තියෙනවා ඒ අහිංසකයන් වෙනුවෙන් පෙනී හිටින්න. මෑණියො මට කියන්නෙ ඒ යුතුකම පැහැරහරින්න කියලානම් ඒක අසාධාරණයි. මුවින් මේ ටික නොකිව්වට මොකද හිතින් මම ඒ විදියට තර්ක පිට තර්ක ගොඩනැගුවා.
“සමාවෙන්න මෑණියෝ…මට නොපෙනෙන පැත්තක් ඔබවහන්සේට පේනවා ඇති. ඒත් මගෙයි, ඒගොල්ලන්ගෙයි අතර වෙනසක් නෑ කියලා කියපු එකේ තේරුම මට තේරෙන්නෙ නෑ. එතන ඉන්න ඔක්කොම එක හා සමාන මිනිස්සුනේ. ඒ ඔක්කොම පාරට බැහැලා තියෙන්නෙ එකම අරමුණක් වෙනුවෙන් නේ. අනිත් එක මෑණියො, ඔබවහන්සේ මේ පැවිදි ජීවිතේට එන්න කලින් අපි කැම්පස් ඉන්න කාලෙ අලියෙක් ඇතෙක් කොහේහරි ළඟපාතක ඉන්නවා කියලා දැනගත්තු ගමන් අපි දෙන්නා කොච්චරක් කියලා ගිහින් තියෙනවද බලන්න. එහෙව් එකේ මෙහෙම දේකට සහභාගි වෙච්ච එක ගැන ඔබවහන්සේ අකමැති වෙයි කියලා මම හිතුවේ නෑ.”
බොහොම හෙමින් මගේ හඬ අඩු කරලා මගේ හිත ඇතුළෙ පොරබදන විතර්කවලට ඒ විදියට එළියට එන්න මම ඉඩ දුන්නා.
“සකී එදා වගේම මම අදත් ඒ සත්තුන්ට හරි ආදරෙයි. ඒ සත්තු හිංසාවක් පීඩාවක් නැතුව සුව සේ ඉන්නවා දකින්න එදා වගේම අදත් මම කැමතියි. හැබැයි එහෙමයි කියලා මම ඔය උද්ඝෝෂණවලට ගියොත් මම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට පිටින් යන කෙනෙක් වෙනවනේ.”
මගේ හිත කලබල වුණාට, මගේ වචන ඒ කලබලය තවරගෙන එළියට පැන්නට, සාමා මෑණියන්ගෙ වචනවල එහෙම තියා කොහොමවත්ම කලබලයක් නෑ. ඒ නිසා මේ වගේ වෙලාවට මෑණියන්ගෙ නිවුණු හඬටත් ඇවිලුණු මගේ හිත නිවෙනවා.
“කවුද සකී අපිට කිව්වෙ මේ ලෝකය අනාත්මයි කියලා?”
දැන් ඉතින් නිහඬව ඉන්න ඉඩක් නෑ. ඒ නිසා මම උත්තර දුන්නා.
“බුදුරජාණන් වහන්සේනේ මෑණියො ඒ බව කිව්වෙ.”
“බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරුවත් කියලා තියෙනවද මේ ලෝකය අනාත්මයි කියලා.”
“නෑ මෑණියො. උන්වහන්සේ විතරමයි ඒ අනාත්ම ධර්මතාවය ගැන මේ ලෝකයට කිව්වෙ.”
“අනාත්මයි කියන එකෙන් උන්වහන්සේ අපිට තේරුම් කරන්න උත්සාහ කළේ මොකක්ද සකී?”
“මේ කිසි දෙයක් අපේ වසඟයේ පවත්වන්න බෑ කියන එකනේ මෑණියො.”
“කිසි දෙයක් අපේ වසඟයේ පවත්වන්න බැරි වුණාට අඩුම තරමේ තමන්ට තමන්ව හරි වසඟයේ පවත්වන්න පුළුවන් කියලා උන්වහන්සේ කිව්වද?”
“නෑ මෑණියො. භාග්‍යවතුන් වහන්සේ කිව්වෙ තමන්ට, තමන්ගෙ හිත හෝ කයවත් තමන්ගෙ වසඟයේ පවත්වන්න බෑ කියලයි.”
“එහෙනම් කොහොමද සකී අපි කැලේ ජීවත් වුණු සතෙක්ව අපේ වසඟයේ තියාගන්න හදන්නෙ? කාවන්තිස්ස ඇතා මැරෙන්න ඕන මෙන්න මෙච්චරක් ආයුෂ වළඳලා මෙන්න මේ දවසෙ කියලා අපි කොහොමද කියන්නෙ? දැන් ඔයාලා ඔය විදියට ගිහින් මැරුණු ඇතාට සාධාරණය ඉෂ්ට කරන්න කියලා ඉල්ලන්නෙ ඇතා මැරුණු විදිය අසාධාරණයි කියලා කියන නිසානෙ. බැලූ බැල්මට අපිට එහෙම පේනවා තමයි. කවුරු වුණත් ඇතාට වෙඩි තියපු එක වැරදියි. තවත් කෙනෙකුගෙ ප්‍රාණයක් නිරුද්ධ කරන්න කාටවත් අයිතියක් නෑ. ඒ වගේම ඇතාට වෙඩි වැදුණු වෙලාවෙ වගකිවයුතු අය හරියට බේත් හේත් නොකළනම් ඒකත් වැරදියි. හැබැයි ඒ සතාගෙ කර්මයට අනුව කර්මානුරූපව ආයුෂ ඉවර වෙන්න තිබුණෙ ඒ විදියට නම් කර්මයත් වැරදියි කියලද අපි කියන්නෙ? කර්මය අසාධාරණයි කියලා කාටද අපි චෝදනා කරන්නෙ?
සකී… මම අනන්තවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ කාරණාව මතක් කරලා ඇති. මේ ලෝකෙ සත්වයා ඉපදෙන්නෙ කර්මය තමන්ගේ දායාදය කරගෙන. කර්මයම තමන්ගේ ඥාතියා කරගෙන. ඒ එක එක සත්වයන් තමන්ගෙ දායාදය කරගෙන ආපු කර්මය ගෙවන්න තවත් පිරිසක් මැදිහත් වෙන එක තමයි ඔය සිද්ධ වෙන්නෙ. කාවන්තිස්ස ඇතාගෙ කර්මය ගෙවන්න, ගිනිබිඳපු මනුස්සයා ඇතුළු තවත් පිරිස් හවුල් වුණා. ඇතාගෙ කර්මය ගෙවෙනකොට ඒ පිරිස සසරේ ගමන් කරන්න තවත් කර්මයක් කරදාගත්තා. මේ ධර්මතාවය ගැන කල්පනා නොකරන අය බෝඩ් ලෑලි උස්සගෙන කෑ ගැහුවට, ධර්මය පුරුදු පුහුණු කරන අය ඒකට එකතු වෙලා කෑගහන එක හරිද? අනික ඔය ඉල්ලන සාධාරණය මොන විදියෙ එකක්ද? ඒ කියන සාධාරණය හම්බ වුණාම ඇතාට ආපහු පණ එනවානම් කමක් නෑ. හැබැයි ඒක වෙන්නෙ නෑ නේද? ඕනනම් කවුරුහරි වැරදිකාරයෙක් කරලා හිරේ යවන්න පුළුවන් වෙයි. හැබැයි මිනිස්සුන්ට දඬුවම් දෙන එක අපිට අයිති දෙයක් නෙවෙයි සකී. ඒක කර්මය විසින් බලාගනීවි. කර්මය ගැනයි, ධර්මය ගැනයි අදහසක් නැති මිනිස්සු අනිත් අයගෙ වැරදිවලට දඬුවම් කරන්න ගියාට ඔයාට ඒක ගැළපෙන්නෙ නෑ කියලා මම කිව්වෙ ඒකයි.
අපි ඒ සතාට පිනක් දහමක් අනුමෝදන් කරලා සුගතියක් ප්‍රාර්ථනා කරන එක වෙනම දෙයක්. මොකද කාවන්තිස්ස කියලා ඇතෙක් දැන් නෑ. ඇතාගෙ විඤ්ඤාණය අනුව එයාගෙ ඊළඟ භවය කර්මානුරූපව තීරණය වෙන්න ඇති. දැන් කාවන්තිස්ස කෙනෙක් ඉන්නෙ අපේ හිතේ විතරයි. ඒ කියන්නෙ අපි කාවන්තිස්ස ගැන මනසිකාර කරන මොහොතේ කාවන්තිස්ස කෙනෙක් හිතට ඇවිල්ලා ඒ මනසිකාරය නිරුද්ධ වෙන තැන, කාවන්තිස්ස කියන සංඥාව නිරුද්ධ වෙලා යනවා. සකී… මම මේ ගෝල්ෆේස් එකට ගිහින් උද්ඝෝෂණ කරන අයට දොස් කියනවා නෙවෙයි. හැමෝටම හැමදේම දිහා හේතුඵල දහමට අනුව බලන්න බෑ. මේ සිද්ධවෙන දේවල් දිහා ධර්මයෙන් විමසලා බලන්න බැරි අයට පේන්නෙම ලෝකය අසාධාරණයි කියලා. හැබැයි ඇත්තටම ලෝකය අසාධාරණ නෑ.”
ගාලු මුවදොර පිටියෙ ගිනිගහන අව්වෙ උද්ඝෝෂණ සටන්පාඨ මැද හිටගෙන ඉඳලා ආපු මට මෑණියන්ගෙ වචන ටික දැනුණෙ හිතේ ගතේ දාහය නිවන සනීප හුළඟක් වගේ. කොළඹ කලබලෙන් වහන් වෙලා කොළඹ අහස යට නිස්කලංක පරිසරයක තියෙන මේ ආරාමයයි, මෑණියන්ගෙ හිතයි අතර වෙනසක් නෑ කියලා මට හිතුණා. මේ ජීවිතේ අපිට ඇවිලෙන්න, ගැටෙන්න, චෝදනා කරන්න, සාධාරණය ඉල්ලන්න දස දහස් ගණනින් හේතු මැවෙනවා. හැබැයි ඒවාට නොඇවිලී නොගැටී ඉන්න මට බැරි වුණාට අපේ මෑණියන්ට පුළුවන්.
මෑණියො දිහා බලාගෙන ඉන්දැද්දි මට බුදුරජාණන් වහන්සේගේ කාලෙ ජීවත් වෙච්ච වක්කලී ස්වාමීන්වහන්සේ සිහිවුණා. උන්වහන්සේ පැවිදි වෙලා තියෙන්නෙම බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝබමාන රූපකාය දිහා බල බලා උන්වහන්සේ සමීපයේ ඉන්න තිබුණු උවමනාවට. හැබැයි ශාස්තෘෘන්වහන්සේගේ රූපකාය පෙනි පෙනී එක වෙහෙර වැඩ හිටියත් උන්වහන්සේගේ ධර්මකායට ළංවෙන්න බැරිතාක් වක්කලී ස්වාමීන්වහන්සේ හිටියෙ බුදුරජාණන් වහන්සේගෙන් සෑහෙන දුර. බුදුරජාණන් වහන්සේ දැක දැක උන්වහන්සේ පෙන්වූ මග නොදැක්ක ඒ වක්කලී හිමියන්ගෙයි, මේ පුහුදුන් මගෙයි අතරෙ වෙනසක් නෑ නේද කියලා මට කල්පනා වුණා. දවස් දෙක තුනකට වතවක් ආරණ්‍යයට ඇවිල්ලා සාමා මෑණියො දැක බලාගෙන කතා බහ කරලා යන්න බැරි වුණොත් මගේ හිතට මහා සාංකාවක් දැනෙනවා. එතුමිය පැවිදි ජීවිතේට එන්න කලින් සමාඛ්‍යා විදියට උන්නු කාලෙ ඉඳලම ඒ කතාව එහෙමයි. අද ඒ සමාඛ්‍යා අරිහත් මග වඩන ආර්ය උත්තමාවියක්. එහෙව් උත්තමාවියක් සමීපයේ ඉඳලත් මං මේ බාහිර ලෝකයේ ඇති මායාවෙ නිතර පැටලෙන්නෙ ඇයි කියලා මම කල්පනා කළා
“සාධාරණය ඉල්ලපු උදවිය ඒ කාලෙ බුදුරජාණන් වහන්සේටත් චෝදනා කළා සකී…”
මගේ කල්පනාව බිඳුණේ මෑණියන්ගෙ හඬට.
“හොරු කණ්ඩායමක් ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරය කුඩු පට්ටම් වෙනකං උන්වහන්සේට පහර දීලා ඝාතනය කළාට පස්සෙ ඒ කාලෙ ඉඳපු බ්‍රාහ්මණයො විතරක් නෙවෙයි, පෘථග්ජන භික්ෂූන් වහන්සේලාත් උන්වහන්සේට චෝදනා කළා කියලා කියනවා. ඔබවහන්සේගේ සාසනයේ දෙවැනි ශ්රාවකයා වෙච්ච මොග්ගල්ලාන මහරහතන් වහන්සේව මේ කොහෙවත් යන හොරු ටිකක් ඇවිල්ලා මරලා දැම්මට පස්සෙ ඇයි ඔබවහන්සේ ඒ වෙනුවෙන් කතා නොකරන්නෙ? ඇයි ඒ අසාධාරණය වෙනුවෙන් හඬක් නොනගන්නෙ කියලා පැවිදි පිරිස් පවා චෝදනා කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ කාටවත් චෝදනා කරන්න ගියේ නෑ. උන්වහන්සේ කිව්වෙ, මේක කාටවත් චෝදනා කරන්න කවුරුවත් කරපු අසාධාරණයක් නෙවෙයි, මේ අසාධාරණය මොග්ගල්ලාන විසින්ම කරගත්තු එකක් කියලයි. උන්වහන්සේ එහෙම කිව්වෙ උන්වහන්සේ තුළ කරුණාව නොතිබුණු නිසාද සකී? උන්වහන්සේ මහා කාරුණිකයි. හැබැයි අපිට නැති සර්වඥතා ඥානයෙන් බලද්දී උන්වහන්සේ දැක්කා කර්මානුරූපව උපදින සත්වයා තම තමන්ට ආවෙණික වූ කර්මානුරූප ජීවිත ගත කරද්දි, මුහුණපාන අර්බුදවලට කාටවත් චෝදනා කරලා තේරුමක් නෑ කියලා.”
මෑණියො එහෙම කියද්දි මට උත්තර ස්වාමීන්වහන්සේගේ කතාව සිහිවුණා.
වස්සකාර මහ ඇමැති ගිහි කාලෙ උන්වහන්සේ එක්ක ඇති කරගත්තු කෝන්තරයක් පිරිමහන්න වැරදි චෝදනාවකට උන්වහන්සේව උල හිඳුවන වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කළාට, වස්සකාර ඇමැතිට නියෝග කළේ නෑ ඒක නතර කරන්න. උන්වහන්සේ උත්තර ස්වාමීන්වහන්සේ ළඟට වැඩම කරලා කිව්වෙ, උත්තර, මේක සංසාරෙ ඔබ විසින්ම කරගත්තු දෙයක්. ඒ නිසා උල තිය තියා මැරෙන්න වෙන මේ සංසාරෙට නම් ආපහු එන්න එපා කියලයි.
හේතුඵල දහම ගැන නාමමාත්රික අවබෝධයක් නැති කෙනෙකුට මොකක් හෝ අසාධාරණයක් වෙච්ච වෙලාවට මේ ටික කියන්න ගියොත් ඒ අය හිතින්, වචනයෙන් විතරක් නෙවෙයි බොහෝ වෙලාවට කායිකවත් ගැටෙන්න එන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවල අපි පරිස්සම් වෙන්න ඕන ලෝකය අසාධාරණකම් කරනවා වගේ මවා පෙන්නා අපිව මුලාකරන අපේම හිත අවබෝධ කරන්න මිසක්, ලෝකයට මේවා අවබෝධ කරවන්න නෙවෙයි. මේ ධර්මය හැමෝටම එක විදියට දරාගන්න බෑ.
කොහොම නමුත් අද දවසේ නොහිතපු පැතිකඩක් ගැන හිතන්න මට මෑණියන්ගේ මේ අනුශාසනාව අහන්න ලැබුණේ කාවන්තිස්ස හස්තියා නිසා. ඒ පින කාවන්තිස්සට සුගතියක උත්පත්තිය ලැබීම පිණිසම හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කළා.
ලෝකය විසින් ඔබට අසාධාරණකම් සිද්ධ කරන බව හැඟෙන හැම මොහොතකම, ලෝකය සමඟ නොගැටී ලෝකයෙන් එතෙර වෙන්නට, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ලෝකෝත්තර දහමම ඔබේ සිහියට නැගේවා.
තෙරුවන් සරණයි.
මම,
ඔබේ කල්‍යාණ මිතුරිය,
ශාක්‍යා ඉද්දමල්ගොඩ (සකී)
සංසාර ආරණ්‍යය ලිපි මාලාව සඳහා ධරණී පුවත්පත බලන්න
