ඇමරිකාවේ ග්‍රීන්කාඩ් අත්හිටුවලා
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයන්ගේ අයැදුම්පත් (ග්‍රීන්කාඩ්) පිළිබඳ සලකා බැලීම නවත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු පුරවැසියන්ගේ රැකියා ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස මෙලෙස ග්‍රීන්කාඩ් වැඩසටහන අත්හිටුවීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත් විචාරකයන්ගේ අදහස් උපුටා දක්වන බීබීසී පුවත් සේවය පවසන්නේ වෛරසයට දක්වන ප්රතිචාරයන් පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ජනාධිපතිවරයා උත්සාහ කරන බවයි.
විශේෂයෙන්ම ඩිමොක්රටික් පක්ෂ නායකයන් චෝදනා කර ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය විසින් වසංගතය භාවිත කරමින් සංක්‍රමණ මැඩපැවැත්වීමට කටයුතු කරන බව පවසමිනි. පසුගිය වකවානුව පුරාම ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් ප්‍රතිපත්තිය බවට පත්ව තිබුණේ සංක්‍රමණ අත්හිටු විය යුතුය යන්නයි.
ධවල මන්දිරයේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා පවසා සිටියේ සංක්‍රමණ අත්හිටුවීමට අදාළ නියෝගයනට තමා වහාම අත්සන් කළ බවත්, වසංගතයට සාපේක්ෂව ඇමරිකානු ආර්ථිකය ක්‍රියා කරන ආකාරය අනුව මෙම තහනම දීර්ඝ කරනවාද නැද්ද යන්න සලකා බලන බවයි.
මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරන ආකාරයට කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් මිලියන 20කට වැඩි ඇමරිකානුවන් පිරිසකට රැකියා අහිමි වී ඇත. ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ ඔවුන්ගේ රැකියා නැවත ලබා ගැනීම සඳහා සහතිකයක් ලබාදීම රජයට ‘බැරෑරුම් වගකීමක්’ ඇති බවයි.
නයන තරංග ගමගේ
