ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න ඇමැති අමරවීර සූදානම්
මේ වන විට ලෝක ඉන්ධන මිල කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ශීඝ්‍ර ලෙස පහළ බැස තිබේ. ඊට සාපේක්ෂව ඉන්ධන මිල අඩුකිරීමෙන් පමණක් සමස්ත මහජනතාවට සහන ලැබේ යැයි විශ්වාස කළ නොහැකිය.
පසුගිය කාලයේ රජය විසින් අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල පහළ දැමුවද, එහි වාසිය මහජනතාවට ලැබුණේ නෑ. අඩු තරමින් කඩවල අලෙවි කරන කෑම පාර්සලයකවත් මිල අඩු වූයේ නෑ.
මේ නිසා ඉන්ධන මිල පහළ යාම මගින් ලැබෙන වාසිය සමස්ත මහජනතාවටම ලබාදීමේ වැඩපිළිවෙළකට යොමුවීමට රජය තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පහළ ගිය ඉන්ධන මිල නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙම දිනවල ලැබෙන ලාභය රටේ සමස්ත මහජනතාවට ලැබෙන ආකාරයට කටයුතු යොදා ඇත.
මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 61,000ක පාඩුවක් මත සිටින රාජ්‍ය ආයතනයක් වුවද එම තත්ත්වය නොසලකා හැර දැනට ලැබෙන ලාභයෙහි වාසිය මහජනතාවට සහන ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරයට පිරිනැමීමට තීරණය කර ඇතැයි ඇමැතිවරයා කීවේය.
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට සමස්ත ලෝක ආර්ථිකයම දැඩි අර්බුදයක පවතී. අප රටේද කොටස් වෙළෙඳපොළ, මත්ස්‍ය අපනයනයෙන් ලබන ආදායම. සංචාරක කර්මාන්තය බිඳ වැටීම සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව ලැබූ ආදායම පහත වැටෙමින් පවතී.
පසුගිය කාලයේ ඇමරිකානු ඩොලර් 16කට අලෙවි කළ මත්ස්‍ය කිලෝවක් මේ වන විට ඇමරිකානු ඩොලර් 6ට පහළ බැස ඇත. එමගින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වෙමින් තිබේ.
එමෙන්ම ඊට සමගාමීව කොරෝනා වෛරසය ආසාදනය වුවන්ට ප්‍රතිකාර සඳහා මෙන්ම නිරෝධායන කටයුතු සඳහා රජයට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.
එම නිසා ඉන්ධන මිල පහළ යාමේ වාසිය සමස්ත ජනතාවට ලැබෙන පරිදි එම ලාභය මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා මෙම සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් ඇමැති මහින්ද අමරවීර තීරණය කර ඇත.
