News

උපන් ගමට බුදුන් වැඩිය මැදින් පොහොය අදයි

බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිත මිත්‍රාදීන්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකීම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කළ මැදිහත් පුන් පොහෝ දිනය අදයි.

සුද්දෝදන රජු විසින් අවස්ථා නවයකදී බුදුරදුන්ට කිඹුල්වත් නුවරට වැඩම කරන ලෙස ආරාධනා කරන ලදී . එම ආරාධනය රැගෙන පිරිවර පිටත් කර හැරිය ද එම අවස්ථා නවයේදීම එලෙස පිටත්ව ගිය පිරිවර බුදුරදුන් හමුවේ දහම් අසා සසුන්ගත වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

සුදොවුන් රජතුමා නැවත වරක් ඇමැතිවරුන් නව දෙනෙකු යටතේ දහය බැගින් වූ පිරිස් යවා බුදුරජාණන් වහන්සේ ද ශාක්‍ය ජනපදයට වැඩම කරවා ගැනීමට උත්සාහ කළත් එය ද ව්‍යර්ථ විය.

අවසානයේ සුද්දෝදන රජතුමා බෝසතුන් හා එකදා උපන් කළුදායි ඇමැතියා කැඳවා තම කාරණාව පවසා බුදුරදුන් වෙත පිටත් කළේය. කාළුදායි ඇමැතියාද බුදුන් වැඩ සිටි වේළුවනාරාමයට ගොස් බණ අසා පෙර අය සේම පිරිවර සමග පැවිදිව රහත් විය.

පසුව කාළුදායි හිමියෝ සුදුසු කල්යල් බලා සුදෝවුන් රජුගේ අභිලාසය බුදුරදුන්ට සැලකිරීමට කටයුතු කලහ.ඒ අනුව කළුදායි හිමියෝ එම ආරාධනාව පිළිගෙන බුදුහිමි කිඹුල්වත් පුරයට වැඩම කළේ අද වැනි මැදින් පුන් පොහොය දිනකය.

චාමර පල්ලේගදර