උපන් හැටියේ වළ දැමූ බිලිඳිය පැය 6කට පසුත් පණපිටින්
ඉපදුණු මොහොතේම මව සිය බිලිඳිය වළ දැමීමෙන් පැය 6කට පමණ පසු අසල්වැසියකු විසින් ගොඩගනු ලැබීමෙන් එම බිලිඳියගේ දිවි බේරී තිබේ.
රත්නපුර පොලිස් බලප්‍රදේශයට අයත් කහංගම කොස්ගල වත්තේ පදිංචි අවිවාහක තරුණියකට උපන් මෙම බිලිඳියගේ පෙකණි වැල කතුරකින් කපා දමා එම තරුණියගේ නිවස පිටුපස පස්ගොඩක පෙරේදා (07 වැනිදා) මාධ්‍යම රාත්‍රියේ පමණ වළදමා ඇත. අසල්වැසියා මෙම බිලිඳිය දැක ඇත්තේ පසුදා (8 වැනිදා) හිමිදිරියේය. ඔහු වහාම බිලිඳිය ගොඩ ගෙන පණ තිබෙන බවට පෙනී යාමෙන් පසු වහාම රෝහල් ගත කිරීම නිසා එම බිලිඳියගේ ජීවිතය බේරා ගැනීමට හැකිව ඇත.
18 හැවිරිදි මෙම අවිවාහක තරුණිය අනියම් ඇසුරක් නිසා ගැබ් ගෙන ඇත. පසුව මෙය රහසක් වශයෙන් සඟවා ගෙන සිටියදී පසුගිය 08 වැනි දින රාත්‍රි දැරිය බිහිවී ඇත. පසුව ඇය විසින්ම පෙකිණිවැල කපා බිලිඳිය නිවස පිටුපස ඇති පස්ගොඩක් අතින් හාරා පස්වලින් යටකර ඇත. පසුදින (8 වැනිදා) පෙරවරුවේ මේ ආසන්නයෙන් ගමන් ගත් අයකු බිලිඳියගේ පාද දෙක පස්වලින් උඩට මතුවී තිබෙනු දැක ඇත. පසුව එම පුද්ගලයා වහාම පස්ගොඩින් ඇය ඉවතට ගෙන ඇති අතර ඒ අවස්ථාවේ බිලිඳියට පණ තිබෙන බව පෙනී ගොස් තිබේ. ඒ අනුව වහාම ත්‍රිරෝද රථයකින් රත්නපුර මහ රෝහල වෙත ගෙනගොස් භාරදී ඇත. රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩලය වහාම දැරිය හදිසි ප්‍රතිකාර අංශයට යොමු කර ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් රෝහලේ පසුවන බව පැවසීය.
මෙම බිලිඳියගේ මව වන අවිවාහක තරුණියද රත්නපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත. හෙට දින ඇය රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සුනිල් පියතිලක -කුරුවිට
