News

එජාපයෙන් යන අයට බාධාවක් නෑ – නවීන්

යම් කණ්ඩායමකට පක්ෂයෙන් වෙන්ව යෑමට අවශ්‍යතාවක් ඇත්නම් ඊට කිසිදු බාධාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පැවසීය.

ප්‍රකාශයක් කරමින් ජාතික සංවිධායක වරයා සඳහන් කළේ වෙනත් කණ්ඩායමක් ලෙස කටයුතු කරන පාර්ශ්වයන් පක්ෂයේ රඳවාගැනීමට උපරිම උත්සාහ කරන නමුත් එම උත්සාහයන් ප්‍රතික්ෂේප කරමින් යමකු ඉවත්ව යෑමට කටයුතු කරන්නේ නම් ඊට බාධා කිරීමට කටයුතු නොකරන බවය.

මේ අතර ඊයේ (13 වැනිදා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හට පක්ෂ දෙකක නායකත්වය දැරීමේ හැකියාවක් පවතින බවයි.

‘‘සජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ දෙකක සාමාජිකත්වය දැරීම පිළිබඳ ගැටලුවක් නැහැ. සන්ධානයක් හදන්න එතුමාට කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමැතිය ලබා දීලයි තියෙන්නේ ඒ අනුව පක්ෂයක් නිර්මාණය කරන්න එතුමාට පුළුවන්. ඒ නිසා තවත් පක්ෂයක සාමාජිකත්වය දැරුව කියලා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ.’’

නයන තරංග ගමගේ