News

එජාප කෘත්‍යාධිකාරී රැස්වීමට බාලගිරි දෝෂය අද නොවේ සඳුදා

අද (6 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව එළැඹෙන සඳුදාට (10 වැනිදා) කල් දමා ඇත.

සිරිකොත ආරංචිමාර්ග සඳහන් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුට සහය පළකරන මන්ත්‍රී කණ්ඩායම අද (6 වැනිදා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට සහභාගි වන බව දැනුම් දීම හේතුවෙන් මෙලෙස හමුව කල්දැමීමට කටයුතු කර ඇති බවයි.

යෝජිත එජාප නව සන්ධානයේ මහලේකම් ධුරය සඳහා සජිත් ප්‍රේමදාස විසින් නම් කර ඇත්තේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නමය.

ඊට විකල්පයක් ලෙස නවීන් දිසානායක මන්ත්‍රීවරයාගේ නම අද දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනා කිරීමට නියමිතව තිබුණු බව පැවැසේ. සජිත් පාර්ශ්වයේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට අපේක්ෂිත වූ එම හමුවේදී අදාළ විකල්ප නම බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට නියමිතව තිබූ බව පැවැසේ.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඇතුළු පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට සහභාගි වීමෙන් වැළකී සිටි සාමාජිකයන් පිරිස අද (6 වැනිදා) ඊට සහභාගි වන බව දැනුම් දීමත් සමග මෙලෙස හමුව කල් දමා ඇතැයි සඳහන් වේ.

මේ අතර ඊයේ (5 වැනිදා) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ යෝජිත සන්ධානයේ මහලේකම් ධුරයට යෝජනා කරන නම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී බහුතර ඡන්දයෙන් සම්මත කර ගත යුතු බවයි.