News

එජාප නායකයා රනිල්ම බව වජිර කියයි

කුමන සාකච්ඡා පැවැත් වුවද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කළ නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළෙ ඊයේ (15 වැනිදා) එජාප මූලස්ථානයේ (සිරිකොත) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය සතියේදී රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පක්ෂ නායකත්වය වෙනස් කළ යුතු බවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ සාකච්ඡා කළ බවයි. එසේම අද (16 වැනිදා) දිනයේදී ද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නැවත රැස්වී නායකත්ව අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. මෙලෙස කවර ආකාරයක සාකච්ඡා පැවැත් වුවද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ බලයක් නොමැති බව මන්ත්‍රීවරයා පැවසීය.

පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව පසුගිය ජනාධිපතිවරණයට ප්‍රථම පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ වෙත පැවරීමට කටයුතු කර ඇති බැවින් ව්‍යවස්ථාවට පිටින් කිසිදු කණ්ඩායමකට කටයුතු කළ නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.