News

කරු මැදිහත්ව පැවැත්වූ එජාප, සමගි ජන බලවේග සාකච්ඡාවත් අසාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධව තරග කිරීම සඳහා හිටපු කථානායක කරු ජයසූරියගේ මැදිහත්වීමෙන් ඊයේ (09 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවද අසාර්ථක විය.

සමගි ජනබලවේගයේ පක්ෂ වාර්තාව, මධ්‍යම කාරක සභා වාර්තාව, ව්‍යවස්ථාව ලබාදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ කණ්ඩායම ඉල්ලා සිටියත් සමගි ජනබලවේගය එය ප්‍රතික්ෂේප කළේය.

එම ලේඛනය ලබානොදෙන ලෙස සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස දැනුම් දී ඇති බව එම කණ්ඩායම අවධාරණය කර සිටියේය. නමුත් අදාළ ලේඛන හිටපු කථානායකවරයාට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියත් ඊටද සමගි ජනබලවේගය විරුද්ධත්වය පළ කළේය.

මෙම සාකච්ඡාව හිටපු කථානායක කරු ජයසූරියගේ නිවසේ පැවැත්විණි.

සමගි බලවේගය ව්‍යවස්ථාවේ පවතින නීතිමය ගැටලු පිළිබඳව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම මෙහිදී පෙන්වාදී ඇත. සමගි බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව ලෙස ඉදිරිපත් කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂ ව්‍යවස්ථාවේ ඇති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළත් සාකච්ඡාව අසාර්ථක වී ඇත.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය සහ නීතිඥවරුන් වන නිශ්ශංක නානායක්කාර, දයා පැල්පොල එක්ව සිටියහ. සමගි ජනබලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, කාසීම් කාසි, ගුණරත්න වන්නිනායක ඊට එක්ව සිටියහ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවෙන් සිය නාමයෝජනා පත්‍රද ඊයේ (09 වැනිදා) පස්වරුවේ ලබාගෙන ඇත. එම නාමයෝජනා පත්‍ර සම්පූර්ණ කිරීම අද (10 වැනිදා) සිට ආරම්භ කර ලබන බ්‍රහස්පතින්දා සිට නාමයෝජනා භාරදීම සිදුකරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

උදයජීව ඒකනායක