ක්‍රීඩාගාරයේ ඉහළ සිට ආ ටයරයක් වැදී ජ’පුර අලුත් සිසුවාට බරපතළයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාගාරයේ ඉහළ සිට තරප්පු පෙළ දිගේ එවූ ටයරයක් වැදීමෙන් පහළ ක්‍රීඩාගාරයේ සිටි සිසුවකු තුවාල ලබා පසුගිය 06 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ නව අධ්‍යයන වසර සඳහා කළමනාකරණ පීඨයට ඇතුළත් වූ මිනුවන්ගොඩ පදිංචි පසිඳු හිරුෂාන් නමැති සිසුවෙකි. මෙම අනතුර සිදු වී ඇත්තේ එදින අලුයම 1.30ට පමණ ය. කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුසිසුවියන් පිළිගැනීමේ තෙමසක කාලසීමාව අවසන් වීමේ සාදය ඉකුත් 5 වැනිදා පවත්වා ඇති අතර සාදයෙන් පසු තවදුරටත් සිසුන් පිරිසක් එහි රැඳී සිට තිබේ. ඒ අතරින් සිසුන් කිහිප දෙනෙක් ඉහළ ක්‍රීඩාගාරයේ සිටින්නට ඇතැයි පරිපාලන අංශ සැකකරයි. සාදය සංවිධානය කර ඇත්තේ එම පීඨයේ දෙවැනි වසර සිසුන් ය. ක්‍රීඩාගාරයේ ඉහළ සිට ආ ටයරය වැදීමත් සමගම ශිෂ්‍යයා බිම ඇද වැටී තිබේ. බිම වැටීමෙන් හිසට බරපතළ හානි සිදු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. එම අවස්ථාවේ සිසුන් හා ආරක්ෂක අංශ එක්ව සිසුවා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ. අනතුර සම්බන්ධයෙන් විනයාධිකාරිගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර එම පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ‘අරුණ’ට ඊයේ (08 වැනිදා) පැවසීය. තරප්පු පෙළ දිගේ ටයරය එවා ඇත්තේ කවුරුන් ද යන්න අනාවරණය වී නැතැයි ද මහාචාර්යවරයා කීවේය.
නිලන්ත මදුරාවල
