කොරෝනා මරන්න ඇමරිකාවෙන් එන්නතක්
මාරාන්තික කෝවිඩ්-19 වෛරසය මැඩපැවැත්වීම සඳහා හැකියාව පවතින එන්නතක් සාර්ථකව වැඩිදියුණු කිරීමට ඇමරිකානු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී ඇත.
බ්‍රිතාන්‍යයේ ‘ඩේලිමේල්’ පුවත්පත ඊයේ (04 වැනිදා) වාර්තා කර ඇති ආකාරයට මේ වන විට අදාළ එන්නත නිපදවීමේ කටයුතු සාර්ථකව අත්හදා බලා තිබේ.
කෙසේ වෙතත් මෙම එන්නත ආරක්ෂිතව මුදාහැරීමට තවත් මාස 18කට ආසන්න කාලයක් ගතවනු ඇතැයි පර්යේෂකයෙක් ඩේලිමේල් පුවත්පතට ප්‍රකාශ කර ඇත.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘සාර්ස්’ වෛරසය පැතිරයෑමෙන් අනතුරුව ඊට වඩා භයානක වෛරසයක් ලෙස ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මීට මාස 06කට පෙර නව එන්නතක් නිපදවීමේ කටයුතු ආරම්භ කළ බවයි.
එම පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත නිපදවා ඇති අතර එය කෝවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා සාර්ථකව ප්‍රතික්‍රියා දක්වන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
මෙම එන්නත මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනය වෙත ලබාදී ඇති අතර එය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා මොඩර්නා (Moderna) නම් පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී ඇත.
කෝවිඩ්-19 වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 60කට වඩා වැඩි ගණනක ව්‍යාප්ත වී ඇති අතර එය ආසාදනය වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 80,000 ඉක්මවයි. ඉන් 3162ක් ඊයේ (4 වැනිදා) දිනය වන විට මියගොස් තිබිණි.
නයන තරංග ගමගේ
