News

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය කෘතිම ශ්වසන යන්ත්‍ර නිපදවන්නන්ට කාර්මික සංවර්ධන මණ්ඩලයේ අත හිත

කොවිඩ් – 19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අවශ්‍ය කෘතිම ශ්වසන යන්ත්‍ර සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස් සඳහා පහසුකම් සැලසීමට සූදානම් බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක පවසයි.

ඒ අනුව කෘතිම ශ්වසන යන්ත්‍ර නිෂ්පාදනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයකු වන අශාන් කුමාරට එහි මූලික සාම්පලය සැකසීම සඳහා මේ වනවිට අවශ්‍ය පහසුකම් සිය ආයතනය තුළ සලසා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

එම සිසුවාට මූලික සාම්පලය සැකසීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ආචාර්යවරුන්ගේ හා රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකුගේද සහයෝගය ලැබී ඇත. ඒ අනුව එහි මූලික සාම්පලය ඉදිරි සතියේදී නිම කරනු ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම කෘතිම ශ්වසන යන්ත්‍ර නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නිර්මාණකරුවන්ට සහය දැක්වීමට තම ආයතනය සූදානම් බවත්. ඒ සඳහා 0774569098 යන දුරකථන අංකය ඔස්සේ ආයතනයේ සභාපතිවරයා අමතන ලෙසත් කාර්මික සංවර්ධන මණ්ඩලය දැනුම් දෙයි.