News

ජනපති යටතේ නීතිය නවන්න බැහැ – ගම්ලත් කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ, නීතිය නැවිය නොහැකි බවත්, නීතිය වල්වැදුනු යුගය දැන් අවසන් බවත් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රී වරයා සඳහන් කළේ, බිඳ වැටී තිබුණ රටේ ආරක්ෂාවද, දැන් ශක්තිමත් වෙමින් පවතින බවයි.

හෙතෙම මේ බව කියා සිටියේ,අද (23) ගිරිතලේ “ද ඩියර් පාර්ක්” ( The Deer Park) හෝටලයේ පැවති මහජන හමුවකට සහභාගී වෙමිනි.

දිඹුලාගල හා වැලිකන්ද ප්‍රදේශයේ දහසකට ආසන්න පිරිසක් මෙම හමුව සඳහා සහභාගී වී සිටියහ.

එළඹෙන මහමැතිවරණයට පූර්ව ගාමීව සංවිධානය කර තිබූ මෙම මහජන හමුව අමතමින් සිරිපාල ගම්ලත් මහතා කියා සිටියේ පවතින පරිපාලන ක්‍රියාවලිය, මහජන හිතකාමී ලෙස පරිවර්තනය වෙමින් පවතින බවයි. එහි එක් පියවරක් ලෙස ග්‍රාම නිලධාරි සහතිකය ලබා ගැනීමේ දී, ප්‍රාදේශීය ලේකම් වරයා ගේ, හෝ වරියගේ අනුමැතිය අත්‍යාවශ්‍ය නොකිරීම,ට ජනාධිපතිවරයා ගත් තීන්දුව ඉතා වැදගත් එකක් බව ද මන්ත්‍රී වරයා පැවසීය.

” පරිපාලන කටයුතු ලිහිල් කිරීම යනු, නීතිය ලිහිල් කිරීමක් ලෙස වරදවා තේරුම් නොගත යුතුයි. පරිපාලනය ලිහිල් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් යන්නේ, ජනතාව ට, වඩා පහසුවෙන් තමන්ගෙ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා රුකුලක් වන නිසාය. යහපාලනය තුළ නීතිය නවන්න පහසුකම් සපයා දී තිබුණා. වත්මන් ජනාධිපති වරයා යටතේ නීතිය නවන්න බැහැ. ඒක පසුගිය මාස තුනක කාලසීමාව තුල ජනාධිපතිවරයා ගත් තීන්දු තීරණ වලින් පැහැදිලි වනවා. දැන් ජනාධිපතිවරයා ගේ අරමුණ රට ආර්ථික සංවර්ධනය කරා ගෙන යාමයි.

දහනව ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ජනාධිපති වරයා ගේ ‍යම් යම් බලතල සීමා වී තිබෙනවා. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයා ගේ බලතල සීමා කිරී, යහපාලනය තුළ සිදුකළ බරපතළ ඓතිහාසික වරදක් ලෙස අපිට දැන් දැනෙනවා. එය නිවැරැදි කළ හැක්කේ මේ රටේ පොදු මහජනතාවටයි. එළඹෙන මහමැතිවරණයේ දී මේ රටේ ජනතාවට ඓතිහාසික වගකීමක් පැවරී තිබෙනවා, ඒ අන්කිසිවක් නොව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම ට, ක්‍රියා කිරිමයි. මෙහිදී යුද්ධ හමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතා ට ඇමරිකා එක්සත් ජනපදය ට ඇතුළු වීමට වීසා නිකුත් නොකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරිපාල ගම්ලත් මහතා.

“යහපාලනය තුළ, රණවිරු දඩයම සඳහා සැලසුම් කළ, ව්‍යාපෘති වල ප්‍රතිඵලයක් ලෙස , යුද්ධ හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා මහතා ට ඇමරිකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් නොකිරීමෙන් පෙනී යනවා. යහපාලනය තුල, එවකට විදේශ අමාත්‍යාංශය මගින්, ජිනීවා මානව හිමිකම් සැසියේදී, ශ්‍රී ලංකාවේ යුද්ධ අපරාධ සිදු වූ බවට, ඉදිරිපත් වූ යෝජනාවට සම, අනුග්‍රහය දැක්වීම හමුවේ, එහි දිගුවක් ලෙස මෙවැනි බලපෑම් එල්ල වී තිබෙනවා.

යහපාලනය තුල, එදා හිටපු පාලකයින්, බරපතළ වරදක් සිදුකර තිබෙනවා. එදා ජිනීවා මානව හිමිකම් සැසියේදී, ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස, අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කාර්යාලයක් ස්ථාපිත කළා. එය සිදුකළේ , දකුණු ආසියානු කලාපයේ සියළු රටවල් අදාල ගිවිසුමට විරෝධය ඵලකර තිබූ පසුබිමකයි. මෙම යෝජනාව ට, සම අනුග්‍රහය දැක්වීමේ අනෙකුත් භයානක ප්‍රතිඵලය වන්නේ, ඕනෑම අවස්ථාවක මෙරට රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙන යාමේ බලයක් හිමිවීමයි.

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම, ජිනීවා යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ගෙන ඇති තීරණය ඉතාම කාලෝචිත පියවරක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තව ඉදිරි අභියෝග එල්ල වෙන්න පුළුවන්, ඒකට මුහුණ දීම සඳහා, එළඹෙන මහමැතිවරණයේ දී අපි හැමෝටම ඓතිහාසික වගකීමක් පැවරී තිබෙනවා. ඒ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ, රට ගොඩනගන ගමනට අපි ශක්තියක් ලබා දීමයි ” යැයිද සිරිපාල ගම්ලත් මහතා කියා සිටියේ ය.